වාලම්පූරි වගේ චිත්‍රපටි ඕනෙ. ඒක නෙළුම් කුලුණට වඩා මගේ සිතගත්තා.
දැවැන්ත නිෂ්පාදනයක්. කැමරාව ඉදිරියේ තැබූ දේවල් හෙවත් මීසෝන් සේන් ගොඩයි. හැම රාමුවක්ම ෂොට් එකක්ම පිරිලා. ඒ නිසා එක් වරක් බැලුවට මදි. චිත්‍රපටිය ගැන සාවධාන යමක් කියන්න තව කීප සැරයක් බලන්න ඕනෙ.
ඒ දෘශ්‍යමය අධිකතරභාවය චිත්රපටියෙ ශෛලියටත් ගැලපෙනවා. මේක එක්තරා යථාර්ථවාදී ගැන්ස්ටර් චිත්‍රපටියක්. ස්කෝසේසි කරපු මලයාලම් චිත්‍රපටියක් වගේ. ගුඩ් ෆෙලාස් සහ ජහුටා එකතුවක් වගේ. ඒක හොඳ මිශ්‍රණයක්.
ලංකාව ගේමක් ගහන අයගේ රටක්. සිවිල් සමාජයයි පාතාලයයි අතර බෙදුම් රේඛාවක් නැති ධනේශ්වර ක්රමයක ඔය ගේම් කොහොමත් තියෙනවා.

ඩීල් ආර්ථිකය
චිත්රපටියෙ පෙන්නන්නෙ තල කීපෙක ගේම්කාරයො කට්ටියක්. එක තලයක ඉන්නවා වාලම්පූරියට විතරක් නෙමේ තවත් එවැනි වස්තුවලට කෝටි ගණන් ගෙවන්න පුළුවන් ඉහළ සල්ලිකාරයො. ඒ ඉහළම සල්ලිකාර ස්ථරයට දරුණුම පාතාල සම්බන්ධතාත් ආයුධ හා ඩිෆෙන්ඩර් වැනි වාහන යනාදී ඉහළම උපකරන තියෙනවා. ඒ පාදඩ ධනපති ස්ථරයට ඉහළම දේශපාලන සම්බන්ධතා තියෙනවා. ඒක හරියට රනිල්ලා වැනි ඊනියා ප්‍රභූ දේශපාලකයන්ගේ නායකත්වය යටතේ පවතින පශ්චාත් යටත්විජිත දේශපාලන – ආර්ථික තන්ත්රය වගේ. හොඳට ටයිකෝට් දාල හිටියට ඒ ප්‍රභූ තන්ත්රය ශ්‍රීනේරු කෙනෙක් බිහිකරපු පන්තියක් නෙමේ. නීති විරෝධී ඝාතන කල්ලි අසල ගෙයක මිනී මරන හඬ ඇහි කෑම කෑ හැකි නිර්මානුෂික – දේශපාලන මැෂින් තමයි ඒ පන්තිය වැඩි වශයෙන් බිහි කළේ. අදත් ඒ පන්තියට ශෂී තරූර් කෙනෙක් නෑ. (විජයවර්ධන පවුල්වල දැන් ඉන්න අය නිකමට බලන්න)
ඊළඟට වාලම්පුරියෙ ඉන්නවා මධ්‍යම ප්‍රමාණයෙ ව්‍යාපාරිකයො සහ දේශපාලකයො. ඒ අයත් ගේමක් ගහන්න බලන අය. තුමිඳු දොඩන්තැන්නගෙ චරිතෙ ඒ ජාතියෙ අය. ඔහුට රෙදිකඩ අරව මේවා තියෙනවා කිව්වට අපි ඒවා දකින්නෙ නෑ.
ඊළඟට ඉන්නවා නිලධාරි තන්ත්රය. පොලිස් පරීක්ෂකවරයෙක් හෝ නියෝජ්‍ය පොලිස් අධිකාරයෙක් වන සමන්. ඔහු වැනි අයත් දන්නවා රටේ තියෙන්නෙ ඩීල්කාර දේශපාලන ආර්ථිකයක් කියල. ඒ ආර්ථියකයට ඩීල් එකකින් සෙට් වෙන එක තමයි ගොඩයන්න තියෙන ක්‍රමය බව ඔවුන් හිතන්නෙ.
උඩ කට්ටියත්, ඊළඟ කට්ටියත් කිසිම නිෂ්පාදන ආර්ථිකයක කොටස්කාරයො නෙමේ. ඩීල් ආර්ථිකයක කොටස්කාරයො. ටාටලා, අම්බානිලා වගේ අය නෙමේ. මොකවත් නිෂ්පාදනය නොකරන ඩීල් ආර්ථිකයක කොටස්කාරයො.
ඊටපස්සෙ චිත්රපටියෙ ප්‍රධාන චරිතෙ වන ප්‍රියන්ත සිරිකුමාර නියෝජනය කරන පහළම ස්ථරය. රජයේ රෝහල්වල ලෙඩෙක් බලාගන්න කෙනෙක් සෙට් කරලා ගාණක් කපා ගැනීම වගේ වැඩ තමයි ඔහු කරන්නෙ. ඒ අතර ඔහු ජහුටා කණ්ඩායමකත් ප්‍රධාන නළුවා. ඔහු නිතර රඟපාන්නෙ නළු චරිතෙ. ඔවුන් ජහුටා නාට්‍ය කලාවෙ යෙදෙන්නෙත් නිදන් හෑරීමේ ආවරණයක් විදියට. ලංකා ධරණී තලය යට නිධාන ඇතැයි විශ්වාස කරන ඔවුන් ඒවා හාරලා ගොඩගන්නයි බලන්නෙ.
ඇත්තමට චිත්රපටියෙ නිෂ්පාදනමය වැඩක් කරන්නෙ ප්‍රියන්ති සිරිකුමාරගෙ බිරිඳ වන ගාමන්ට් සේවිකාව විතරයි. ඒ අතිනුත් ගොඩක් දුරට ලංකාවම තමයි.

වාලම්පුරිය
මේ අතරෙදි තමයි ඔය තල තුනේම ගේම්කාරයො අතරට වාලම්පුරිය එන්නෙ. ඒක ඉහළම ගාණකට විකුණගෙන ගේමක් ගහගන්න අර ඊනියා ප්‍රභූ දේශපාලකයාගේ සිට බාබර් සාප්පුවෙ මල්ලි දක්වා සම්බන්ධ වෙනවා. ආගමික සංස්ථාවත් සම්බන්ධයි. හැබැයි හාමුදුරු කෙනෙක් කතාවෙ නෑ. චිත්‍රපටිය පෙන්නන්න බැරි වෙයි කියල වෙන්න ඇති. ලංකාවේ මානව හිමිකම් හෝ ප්රජාතන්ත්රවාදය ගැන වැඩ කරන සමහර එන්ජීඕ නායකයනුත් ඉහළ දේශපාලන-ආර්ථිකයෝ වාලම්පූරිකාරයන්ගෙන් යැපෙනවා. එකපතේ කනවා.ඒ තමයි ඔවුන්ගෙ වාලම්පුරිය. අන්න එහෙම දර්ශනයකුත් තිබුණා නම් තවත් මරු.
හැබැයි අනපේක්ෂිත ලෙස වාලම්පුරිය පහළම ස්ථරය අතටම එනවා. ඒක ආපසු බාර නොදී පහළ කණ්ඩායමත් මැද කණ්ඩායමත් එකතු වෙලා තැත් කරනවා ගේමක් ගහල ඉහළ ආර්ථික -දේශපාලන තන්ත්රය වෙතින් වාලම්පුරි වාසිය තමන් වෙතට ගන්න.

මේකෙදි දහසකුත් එකක් කායික හිංසනවලට පහළ තීරුව ලක් වෙනවා. චිත්‍රපටිය ඉවර වෙන්නෙ වාලම්පූරිය තවමත් තමන් අතය යන තෘප්තිය ප්‍රියන්ත සිරිකුමාරගෙ මූණේ ඇඳෙන සිනාවක් ලෙසින් සටහන් කරමින්. ඒ තමයි චිත්රපටියෙ කාව්‍යමය යුක්තිය. මේක ජනප්‍රිය ධාරාවේ සිනමා උපශානරයකට වැටෙන නිසා ඒ කාව්‍යමය යුක්තිය හෙවත් පොයටික් ජස්ටිස් තිබුණට කමක් නෑ.
එහෙම වුණත් මේ වගේ දූෂිත, පාදඩ, දේශපාලන – ආර්ථිකයක තමන් කීප දෙනෙක් අතට අහම්බෙන් ආපු වාලම්පුරියකින් හෝ ගොඩගත්ත නිධානෙකින් හෝ ගොඩයන්න බෑ. වාලම්පූරිය නියෝජනය කරන පද්ධතියම සාමූහිකව වෙනස් කරගන්න වෙනවා. වැරදීමකින් පහළ පාන්තිකයා අතට විසින් වෙන වාලම්පූරියකින් ජීවිතය ජයගැනීමේ අවස්ථාවක් කාටවත් නෑ. තිබුණත් ඒ ජයගැනීමෙන් අර ඊනියා ප්‍රභූ දේශපාලකයා, ව්‍යාපාරිකයා විසින් ආරක්ෂා කෙරෙන ක්රමයම ඉතුරුවෙනවා.

වාලම්පුරිය කියන්නෙ ලංකාවේ පශ්චාත් යටත් විජිත දේශපාලන ආර්ථිය වගේ. හරයක් නෑ. හිස්. අධි ආරෝපිත මිලක් තියෙනවා වටිනාකමක් නෑ. ඒ වාලම්පූරිය උතුරෙ දකුණෙ නැගෙනහිර බිලිගෙන තියෙන ජීවිත නිමක් නෑ. ඒක තමන් අතට ගත්තම හරි කියන එක යස මරලා සුබ සිහසුනේ වාඩ වීමටත් වඩා භයානක වැඩක්. ජහුට කණ්ඩායම් ජහුට කරලම කීයක් හරි හොයාගන්න එක තමයි හොඳ වාලම්පුරි දේශපාලන-ආර්ථිකය බිඳලන්න සාමූහිකව වැඩකරන්න බැරි නම්.

රජයේ පඩි ලබන්නා හෙවත් පොලිස්කාරයා
චිත්රපටියෙ තරමක ඉහළ මට්ටමකම පොලිස් නිලධාරියා මේ වැනි ගේම්වලට සම්බන්ධ වෙන්නෙ වැටුප්, විශ්‍රාම වරප්‍රසාද ආදිය ප්‍රමාණවත් නැති නිසා බව ඔහුම කියනවා. ඒකෙ ඇත්තක් තියෙනවා.
පහුගිය අවුරුදු ගාණක සිට මම ලාල්කාන්ත, නලින්ද වගේ සහෝදරවරු එක්ක ඇද ගන්න කොක්කක් තමයි දේශපාලනයට එන අය පඩි ගන්න ඕනෙ කියන එක. මං ඒක කියන්නෙ අර පොලිස්කාරයා කියන දේ වැනි දෙයක් කියන්න. මම රතු ඉරි අඳින අත ලියන කාලෙ කතා කරපු ඉහළම නීතිඥයෙක් කිව්වා මෙහෙම දෙයක්: “අපේ රටේ ඉහළ පොලිස් නිලධාරියොයි නීති ක්ෂේත්රයෙ ඉහළම අයයි තමන්ගෙ දරුවො අතින් සල්ලි දීලා (ශිෂ්‍යත්ව නැතිව) දරුවො ඔස්ට්‍රේලියාවෙ යවන්න පටන්ගත්තම ලංකාවෙ කුඩු වැඩි වුණා”. ඒක නවකතාවෙත් ආඛ්‍යානමය වක්රෝක්තියකින් ලියලා තියෙනවා.

ඒකෙ ඇත්තක් තියෙනවා. ඒ දරුවන්නට හොඳ අධ්‍යාපනයක් ලංකාවෙ තියෙන්නත් ඕනෙ. ඒ නිලධාරින්ට අභිමානවත් වෘත්තීය ජීවිතයකට හා විශ්‍රාම ජීවිතයකට ඉඩ තියෙන්නත් ඕනෙ. ඒ නිසා දූෂණය කියන්නෙ ආචාරධාර්මික ප්‍රශ්නයක් විතරක් නෙමේ ව්‍යූහමය කාරණයක්.
හැබැයි රටක දේශපාලන ආර්ථිකයක් පාදඩකරණය වෙන්නෙ හුදෙක් පාතලාකාරයෝ ඉන්න නිසා විතරක් නෙමේ. මේ ඉහළ ඩීල්කාරයො අතිවිශාල සල්ලි කන්දක් ගොඩගහන්නෙ මොකටද? ඒකට එක උත්තරයක් තියෙන්නෙ ආර්චනකාමයක් බවට පත් වුණ පරිභෝජනය හෙවත් පරිභෝජනවාදය. ජීවිතවල නෛසර්ගික හරයක් නැති වුණාම ආරෝපිත වටිනාකම් ඇති භාණ්ඩ පරිභෝජනය තුළ තමයි ඒ හරය හොයන්නෙ. අපේ රටේ මධ්‍යම පාන්තික තීරු ලුහු බැඳ යන වාලම්පූරිය තමයි ඒ. මේ අලංකරකණය කරන ලද පරිභෝජන සංස්කෘතිය අපි චිත්රපටියෙ දකින්නෙ නෑ. අර ඉහළම තීරු විනෝදෙට කරන වැඩ, සතුට ලබන වැඩ අපි දකින්නෙ නෑ.

උදාහරණයක් කියන්නම්: කුරුණෑගල පැත්තෙ මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයන්ට ආර්ථික අර්බුදයක් එක්ක අතිවිශාල ආදායම් ආවා. එක්කෙනෙක් තමන්ගෙ විශාල පොල් වත්තෙ විශාල වැවක් හදලා ඒකට වෝටර් ස්කූටර් ගෙනැත් දාගත්තා. අපි බිත්තර 45ට ගන්න කාලෙ තමයි දන්න කියන කෙනෙක් ඒ පින්තූර මට පෙන්නුවෙ.
ජහුටා කට්ටිය
මම කුරුණෑගල. පොඩි කාලෙ ඉඳල ජහුටා බලනවා. ඒ ගැමි කලාකාරයො හරිම අහිංසක මිනිස්සු. මේ වගේ ව්‍යාජ ජහුටකාරයො නෙමේ. චිත්රපටියෙ ජහුටා කලාකාරයො නිරූපණය වෙන හැටියට මම එච්චර කැමති නෑ. තව ටිකක් වැඩියෙන්
ජහුටා මානය වර්ධනය කරලා, ඒ කලාවත් ආර්ථික වශයෙන් වැටෙද්දි ජහුටා නායකයා අතට නිධන් වදුලක් පත් වෙනවා වගේ දෙයක් වුණා නම් හොඳයි. කූඹියෝ හෙවණැල්ල තව ටිකක් අඩු කරලා ජහුටා පැත්තට ගියා නම් චිත්රපටියෙ දෘශ්‍යමය උත්ප්රාසය හා අලංකාරයත් තව වැඩි වෙන්න තිබුණා. උදාහරණයකට මැද පෙළ ව්‍යාපාරිකයෙක් වුණ තුමිඳුටත් ජහුටා නාට්‍යයක රඟපාන්න වෙනවා කියන්නෙ අපූරු උත්ප්රාසයක්.

කොහොමත් සිරි කුමාර, සරත් වගේ මගෙ පරණ යාළුවො අපූරුවට රඟපානවා. ඒවා බලන් ඉන්න ආසයි. මේ වගේ චිත්‍රපටි වැඩි වැඩියෙන් ඇවිල්ලා සිනමා කර්මාන්තය හැදෙන්න ඕනෙ.
මීට වඩා සිනමා කලාව පැත්තෙන් ඉහළ හා බර බහුචිතවාදියා ළඟදි එනවා. මේ ගැම්මෙන්ම ඒකත් බලමු.
චිත්රපටියෙ අවසන් නාමාවලිය යද්දි අපි දකිනවා අපේ ජීවිතවල හැම තැනම වාලම්පුරිය තියෙනවා. ඒක භයානක දෙයක්. අපි හැමෝම අඩු වැඩි වශයෙන් ගේම්කාරයො. ඒ හැම තැනින්ම වාලම්පුරිය අල්ලලා විසි කරන ධෛර්ය අපට සාමූහිකව අත්පත් කරගන්න බැරිද?
මහාචාර්ය ලියනගේ අමරකීර්ති