2025 අප්‍රේල් 19 වන දින ඉන්දියාවේ ජායිපූර් හි සවායි මන්සිං ක්‍රීඩාංගනයේ දී රාජස්ථාන් රෝයල්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් අතර පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) විස්සයි20 ක්‍රිකට් තරඟයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වෛභව් සූර්යවංශි (Vaibhav Suryavanshi) තමන් මුහුණ දුන් පළමු පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.

ඉන්දීය ජාත්‍යන්තර ක්‍රීඩක ෂර්දුල් තාකූර් වෙනුවට අත්රේක ක්‍රීඩකයෙක් ලෙස රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් තරග කළ සූර්යවංශි ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හමුවේ පන්දුවට පහර දෙමින් පන්දු 20කින් ආකර්ෂණීය ලකුණු 34 ක් ලබා ගත්තා. සූර්යවංශි නියෝජනය කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු දෙකකින් පරාජයට පත් වූවත් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි මේ ලාබාලතම වමත් පිතිකරුවා පසුගිය නොවැම්බර් මාසයේ IPL වෙන්දේසියේ දී පවුම් 103,789 කට (ඉන්දීය රුපියල් කෝටි 1.1) ගිවිසුම් ගතව සිටියා.

ලොව ධනවත්ම ක්‍රිකට් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ ගිවිසුමක් ලැබූ වෛභව් සූර්යවංශි ඒ වනවිට 13 හැවිරිදි දරුවෙකු ලෙසයි කවුරුත් දැනගෙන සිටියේ.
IPL හී ලාබාලතම ක්‍රීඩකයා වූ වෛභව් සූර්යවංශි වමත් පිතිකරුවා රංජි සහ මුෂ්තාක් අලි කුසලාන වැනි ජාතික ශූරතා තරඟවලදී තමන්ගේ බිහාර් ප්‍රාන්තය නියෝජනය කර ඇති අයෙක්. ඔහු වයස අවුරුදු 19 න් පහළ ජාත්‍යන්තර තරඟවලදී ඉන්දියාව නියෝජනය කර තිබෙනවා.

ඔහු බිහාර්හි පැවති වයස අවුරුදු 19 න් පහළ තරගාවලියකදී නොදැවී ලකුණු 332 ක් ලබා ගෙන ඇති බව වාර්තා වෙනවා.
සූර්යවංශිගේ වෙන්දේසිය සහ ඔහුගේ කොන්ත්‍රාත්තුවේ ප්‍රමාණය පිළිබඳ පුවත ලද සැනින් ඔහුගේ ක්‍රිකට් සිහින සැබෑ කර ගැනීම සඳහා තම ඉඩම විකිණීමට සිදු වූ ඔහුගේ පවුලට මහත් ප්‍රීතියක් ගෙන දී තිබූ බවයි වාර්තා වන්නේ. ඔහුගේ පියා සංජීව් සූර්යවංශි පැවසුවේ “ඔහු දැන් මගේ පුතා පමණක් නොවයි. බිහාර්හි පුතා. මට කතා කරන්න බැහැ. මට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ. ඒක අපේ පවුලට ලොකු දෙයක්” බවයි.
බිහාර් සිට මුම්බායි වෙත රැකියාවක් සඳහා සංක්‍රමණය වූ ගොවියෙකු වන සංජීව් සූර්යවංශි මහතා රාත්‍රී සමාජ ශාලාවක සහ පොදු වැසිකිළියක බවුන්සර් ලෙස සේවය කළ බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

2019 දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙනුවෙන් එක් තරගයක් පමණක් ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රයාස් රායි බර්මන්ගේ වයස අවුරුදු 16 යි දින 154ක වාර්තාව බිඳ දැමූ වෛභව් සූර්යවංශි IPL පිටියේ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්විය. 2011 මාර්තු 27 වන දින උපත ලැබූ සූර්යවංශි, 2008 දී IPL තරඟාවලිය ආරම්භ වීමෙන් පසු උපත ලැබූ පළමු IPL ක්‍රිකට් ක්‍රීඩකයා යි. අප්‍රේල් 19 වෙනිදා වනවිට IPL වාර්තා පොතට එක්වූ වෛභව් සූර්යවංශිගේ වසය එදිනට අවුරුදු 14 යි දින 23 යි.
බටහිර ඉන්දීය ක්‍රීඩක බ්‍රයන් ලාරා සිය ගෞරවය දිනූ ක්‍රීඩකයා බව කියන සූර්යවංශි, පන්දු 20 කදී ලකුණු 34 ක් ලබා ගත් ඔහුගේ විශ්මයජනක ඉනිම පිළිබඳව රාජස්ථාන් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු සයිරාජ් බහුතුලේ පවසන්නේ “ඔහුට අවස්ථාවක් ලබා දීම වැදගත් වුණා. ඔහු දැල තුළ දී හොඳින් පන්දුවට පහර දුන්නා. ඔහුගේ සූදානම හොඳයි. වෛභව්ට අවස්ථාවක් නිර්මාණය කළා; ඔහු එයින් උපරිම ප්‍රයෝජන ගත්තා. ඔහු ලස්සනට පන්දුවට පහරදීම සිදුකළා” යනුවෙන්.

ඉන්දීය පළපුරුදු වේග පන්දු යවන්නෙකු වන ෂර්දුල් තාකූර්ගේ පන්දුවකට මුහුණ දුන් සූර්යවංශි එල්ල කළ හයේ පහර දැක්වෙන වීඩියෝ පටයක් ටැග් කර X හි සටහනක් යෙදූ හිටපු එංගලන්ත නායක මයිකල් වෝගන් “මෙය ඇදහිය නොහැකි තරම්” බව පවසයි.
“ඔහුට වයස අවුරුදු 14 යි, නමුත් ඔහුට වයස අවුරුදු 30ක මනසක් තියෙනවා. වසර ගණනාවක් තිස්සේ පන්දු යවන පන්දු යවන්නන්ට එරෙහිව වෛභව් සූර්යවංශි විශ්වාසයෙන් යුතුව කටයුතු කළා” යි හිටපු ඉන්දීය පිතිකරු සංජේ මන්ජේකර් සඳහන් කරනවා.
“ඔහු අනාගතයේ දී ක්‍රිකට් පාලනය කරනු ඇත. වෛභව් සූර්යවංශි තමාට කළ හැකි දේ පෙන්වනු ඇති” යි හිටපු ඉන්දීය පිතිකරු සුරේෂ් රයිනාගේ අදහසයි.
රාජස්ථාන් පුහුණුකරු සහ හිටපු ඉන්දීය ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් මේ තරුණ ක්‍රීඩකයා ගැන කියන්නේ “ඇත්තටම හොඳ කුසලතා කිහිපයක් ඔහු සතුයි” යනුවෙන්.

තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කළ IPL ඉතිහාසයේ ලාබාලම ක්‍රීඩක වන වෛභව් සූර්යවංශිගේ බිහාර් ප්‍රාන්ත පුහුණුකරු ප්‍රමෝද් කුමාර් ඔහුව විස්තර කළේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන නිහඬ පිරිමි ළමයෙකු ලෙසයි.
“ඔහු ක්‍රිකට් ක්‍රීඩා කිරීමට මෙලොවට පැමිණි ක්‍රීඩකයෙක්; ඔහු වෙන කිසිවක් සඳහා සෑහීමකට පත්වෙන්නේ නැහැ. එයා කතා කරන්නේ හරිම අඩුවෙන්. නමුත්, එයාට දිවා රෑ නොබලා සෙල්ලම් කරන්න පුළුවන්” ඔහු පවසනවා.