මාලක දේවප්‍රියගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ‘බහුචිතවාදියා’ පදනම් කර ගනිමින් ජර්මානු විඥානවාදය, මාක්සියානු දේශපාලන ආර්ථික විද්‍යාව සහ ෆ්‍රොයිඩියානු-ලකානියානු මනෝවිශ්ලේෂණය හරහා කියවීමට ගන්නා උත්සාහයක් ලෙස තිලක් කෝදාගොඩ ලියා එළි දක්වා තිබෙන නවතම කෘතිය වන ‘එහිම සුදුමැලි පිටපතක්’ එළඹෙන 11 වෙනිදා එළිදැක්වේ. බොරෝමියානු ගැටයේ එක් ක්ෂේත්රයක් වන ‘මාක්ස්මය දේශපාලන ආර්ථිකය’ ගැන හා එහි ඇති සීමා ගැන මෙන්ම මිනිස් ආශාව පදනම් කරගත් මනෝවිශ්ලේෂණයේ බලපෑම හා පවතින දේශපාලන ආර්ථික ගැටළු මගින් සංකීර්ණ කර ඇති මිනිස් ජීවිතවල ආත්මීය සාධක වන මිනිස් සම්බන්ධතා හා ආදරය ඇතුළත් මානසික ක්ෂෙත්රයේ කඩා වැටීම සිනමා කෘතියක් ආශ්රයෙන් සාකච්ඡා කිරීමට මෙම කෘතිය උත්සාහ කරයි. සමකාලීන තරුණයන්ගේ ජීවිත, පවත්නා ආර්ථික ක්රමයේ ගාමකයන් මගින් නන්නත්තාර කර තිබෙන ආකාරයත් ඔවුන් ආත්මීය වශයෙන් විශාල කඩා හැලීමකට ලක්වී තිබෙන ආකාරයත් මෙම කෘතියෙන් පෙන්වා දෙයි. එහිදී මාලකදේවප්රිය, ධර්මසේන පතිරාජ වැනි යථාර්ථවාදී සිනමාකරුවෙකුගේ මාර්ගය ඔස්සේ යමින් සමාජ ප්‍රශ්න කතා කරන අතරම ඉන් ඔබ්බට යමින් තරුණයන්ගේ ජීවිතවල ආත්මීය පාර්ශ්වය ද හෙළිදරව් කිරීමට උත්සාහයක් ගෙන තිබෙන බවයි මින් පෙන්වා දෙන්නේ.
ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, සත්‍යජිත් මායිටිපේ හා නවක සිනමා අධ්යක්ෂ ජගත් මනුවර්ණ ආදීන්ගේ සමාජ ප්‍රශ්න තිරයට ගෙන එමින් ඒවා දේශපාලනික ලෙස සාකච්ඡා කිරීමට පෙළඹෙන සිනමා ප්රවේශයත් එයට වෙනස්ව බිහි වූ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, සංජීව පුෂ්පකුමාර වැනි සමාජ ප්‍රශ්න වෙනුවට ආත්මීය ප්‍රශ්න තේමා කරගත් සිනමා ප්රවේශයත් යන ප්‍රවේශ දෙක තුළම මාලකගේ සිනමාව ස්ථානගත කර ගැනීමට කෝදාගොඩ මෙහිදී උත්සාහයක් දරා ඇත. ඔහු මතු කරන ආකාරයට න්‍යාය සංවාද තලයෙන් ඉවතට ගෙන සමාජ භාවිතමය තලයකට ගෙන ඒම තමන්ගේ ආකල්පය බව පෙන්වා දෙයි. මේ ඔස්සේ යමින් මාක්ස්වාදී දේශපාලන ආර්ථික ප්‍රවර්ගයත්, ෆ්‍රොයිඩියානු ලැකානියානු මනෝ විශ්ලේෂණාත්මක ප්‍රවර්ගයත් සහ හෙගලියානු සමපේක්ෂණමය විඥානවාදී ප්‍රවර්ගයත් ආදී ප්රවර්ගයන් ඔස්සේ මාලකගේ ‘බහුචිතවාදියා’ ට ප්‍රවේශ වෙයි.
මේ මස 11 වෙනිදා සවස 4.00ට මහවැලි කේන්ද්‍රයේ දී ‘එහිම සුදුමැලි පිටපතක්’ කෘතිය එළිදැක්වෙන අතර ඊට ගුණසිරි සිල්වා, බූපති නලීන් වික්‍රමගේ, විදර්ශන කන්නන්ගර සහ රුවන් කුමාර අදහස් දැක්වීමට එක්වේ. එදින මෙහෙයවීම වාස් ප්‍රියනාථ විසිනි.
#thilakkodagoda #bahuchithawadia #bupathinalinwickramage #vidarshankannangara #gunasirisilva #vaspriyanatha #A5 #a5news #A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews