ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹ දී පැවැත් වුණා. එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස හිටපු සභාපති ශම්මී සිල්වා ම නිතරඟයෙන් තේරී පත්ව තිබෙනවා. ඔහු සභාපති ලෙස තේරී පත්වූයේ අඛණ්ඩව සිව්වැනි වාතාවට යි.
අටුලුගමගේ ශම්මී ශිරාජ් සිල්වා 1960 අගෝස්තු 7 වෙනි දින කොළඹ දී උපත ලැබූ අයෙක්. ඔහු කොළඹ නාලාන්දා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්. නාලන්දාවේ දී වෙඩි තැබීම, කවපෙත්ත විසි කිරීම සහ හෙල්ල විසි කිරීම යන ක්‍රීඩාවන් හි ද නිරතව තිබෙනවා. 1980 දී නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරා ඇත්තේ ශම්මී සිල්වා මහතා යි.
පාසලෙන් ඉවත් වූ පසු ක්‍රිකට් ක්‍රීඩා කිරීම දිගටම කරගෙන ගිය ඔහු 1983/84 දී කොළඹ ක්‍රිකට් සමාජයේ නායකත්වය දැරුවා. කලෙක ඔහු ස්කොෂ් ක්‍රීඩා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ජාතික වර්ණ දිනා ගනිමින් ශ්‍රී ලංකා ස්කොෂ් කණ්ඩායම නියෝජනය කළා. පසුව ඔහු ශ්‍රී ලංකා ස්කොෂ් කණ්ඩායමේ කළමනාකරු සහ පුහුණුකරු බවට පත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාව සිටිය දී ෂම්මි සිල්වා මහතා 2024 දෙසැම්බර් 6 ආසියානු ක්‍රිකට් සම්මේලනයේ (ACC) හි සභාපති ධුරයට පත් වුණා. ඒවන විටත් වසර ගණනාවක් ACC මූල්‍ය හා අලෙවිකරණ කමිටුවේ සභාපති ලෙස ඔහු සේවය කර තිබුණා.