යාපනයේ දී විවෘත කළ තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් ඊයේ (18) දින පැවති උත්සවයකදී යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රේෂ්ඨ දමිළ කවියකු සහ දාර්ශනිකයකු වන තිරුවල්ලුවර්තුමාට උපහාරයක් ලෙස  ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කරනු ලැබුවා. මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කර්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායම්, යාපනය නාගරික කොමසාරිස් එස්. ක්‍රිෂේන්ද්‍රන්, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අතපත්තු, යාපනයේ ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් සායි මුරලි ඇතුළු අමුත්තන් සහ යාපනයේ කලාකරුවන් රැසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලයන 12ක ඉන්දීය ප්‍රදානයක් කර තිබෙනවා. මෙම මධ්‍යස්ථානය උතුරු පළාතේ ජනතාවගේ පොහොසත් සම්ප්‍රදායන්, කලාවන් සහ අභිලාෂයන් සඳහා ඉඩ හසර ලබා දෙන බව මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා. මෙම සුවිශේෂී ගොඩනැගිල්ල මහල් දෙකක් පුරා පැතිරුණු කෞතුකාගාරයක්, ප්‍රේක්ෂකයන් 600කට වැඩි පිරිසකට අසුන් ගත හැකි රංග පීඨ ආකාරයේ නවීන ශ්‍රවණාගාරයක්, එකළොස් මහල් ඉගෙනුම් කුළුණක් සහ එළිමහන් රංග පීඨයක් ලෙස ද භාවිතා කළ හැකි පොදු මහජන චතුරස්‍රයක් යනාදි විවිධ පහසුකම්වලින් සමන්විතයි.

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මෙම අවස්ථාව අමතමින් ප්‍රකාශ කළේ මෙම මුලපිරීම ශ්‍රේෂ්ඨ තිරුවල්ලුවර්තුමාට උපහාරයක් පමණක් නොව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෙදා හදා ගන්නා ඉතිහාසයක, සංස්කෘතියක සහ දෙරට අතර පවතින සුවිශේෂී සහ අවියෝජනීය සම්බන්ධයේ සැමරුමක් වන බවයි. මෙම අවස්ථාව තිරුවල්ලුවර්තුමාගේ ඥනයේ මඟපෙන්වීම ලබමින් සංස්කෘතිය, සහයෝගීතාවය සහ පොදු සෞභාග්‍යයෙන් පොහොසත් අනාගතයක් සඳහා වන ගමනක ඇරඹුමක් වන බව ඔහු සඳහන් කළා. මෙම මධ්‍යස්ථානය තිරුවල්ලුවර්තුමාගේ ඉගැන්වීම්හි ජීවමාන ප්‍රතිමූර්තියක් බවට පත් කරන මෙන් මහ කොමසාරිස්වරයා යාපනයේ සහ උතුරු පළාතේ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා සුදුසු ම නම තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය බව පැවසූ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ප්‍රකාශ කළා. තිරුවල්ලුවර්තුමාගේ ඉගැන්වීම් අපගේ ක්‍රියාවන් සෑමවිටම දයාව සහ සාරධර්ම මත පදනම් විය යුතු බව අපට මතක් කර දෙන බව ද එතුමාගේ ශ්‍රේෂ්ඨ තිරුක්කුරල් ග්‍රන්ථය සාධාරණ සහ සමඟි සමාජයක් නිර්මාණය කිරීම සඳහා අපට මඟ පෙනවන බව ද ඔහු සඳහන් කර තිබුණා. ප්‍රථම වරට සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද තිරුක්කුරල් ග්‍රන්ථයේ සිංහල පිටපතක් ද අමාත්‍යවරයා විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත එහිදී බාර දුන්නා.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් සංස්කෘතික මධ්‍යස්ථානය වැනි මහඟු තිළිණයක් ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට ස්තුති කළ අමාත්‍යවරයා එය විචිත්‍රවත් සංස්කෘතික ක්‍රියාකාරකම්හි මධ්‍යස්ථානයක් කිරීම සඳහා සියලු පාර්ශවකරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි කියා තිබුණේ.

Recent Post