කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී යාම නිසා සිදු වූ අනතුරින් මේ වනවිට විසි දෙදෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සෙසු තුවාළකරුවන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය, ගම්පොළ, කොත්මලේ සහ නාවලපිටිය යන රෝහල්වල ඇතුලත් වී ප්‍රතිකාර ලබනවා.
මෙම අනතුර පිළිබඳව නිරීක්ෂණයට වෛද්‍යවරුන් වන කතානායක ජගත් වික්‍රමරත්න, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මුනිම එම ස්ථානයටත් අනතුරින් තුවාල ලැබුවන් ප්‍රතිකාර ලබන රෝහල් වෙතත් ගොස් තිබුණා. පසුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ද රෝගීන් නිරීක්ෂණ කරමින් ඔවුන්ගේ අවශ්‍යතා විමසීමට රෝහල වෙත ගොස් තිබෙනවා.
මේ අය විසින් රෝහල් හී නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිස් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ද සොයාබැලීම් ද නොකඩවා කරන ලෙස අදාළ අංශ වලට උපදෙස් දුන් බවයි ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ.
“ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා එදින ම සවස එම අනතුර සිදු වූ ස්ථානයටත්, එම අනතුරින් තුවාළ ලැබූ සහෝදර මගී ජනතාව ගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීමටත් අග්‍රාමාත්‍යතුමිය සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා සමඟ එම ප්‍රදේශයට ගිය අතර අනතුරට ලක් වූවන් සමඟ සමීප කතා බහක නිරත විය.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කථානායකවරයා ඇතුළු බලධාරින් පිරිසක් උදය වරුවේ ම අනතුර සිදු වූ ස්ථානයට සම්බන්ධ වූ අතර, මිය ගිය සහ තුවාළ ලැබූ අය පිළිබඳව ද තුවාලකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම පිළිබඳව ද දිගින් දිගට ම තවමත් මැදිහත් වෙමින් සිටී.
තව ද මෙම අනතුරෙන් දිවි අහිමි වූ සියලු දෙනාට ජනාධිපති අරමුදල මගින් එක් අයෙකුට රුපියල් මිලියනයක් බැගින් වූ මුදලක් ලබා දීමට තීරණය කර ඇති අතර මෙම බස් රථය රක්ෂණය කර ඇති රක්ෂණ සමාගමෙන් බස් රථයේ ගමන් ගත් මිය ගිය සහ තුවාළ ලැබූ සියලු දෙනාට හිමි විය යුතු රක්ෂණ වන්දි කඩිනමින් ලබා දීම සඳහා මැදිහත් වන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසී ය.
පසුගිය කාලයේදී මාර්ග ආරක්ෂාව හා රථ වාහන නීති සම්බන්ධව බරපතල සාකච්ඡාවක් අමාත්‍යංශය තුළත් සමාජය සමඟත් ඇතිකරගත් අතර ඒවා ක්‍රියාත්මක කිරීමට යාමේ දී යම් ගැටලුකාරී තත්ත්වයන් හා බාධාකිරීම් ද ඇති වූ බවත් මේ ඛේදවාචකය තුළින් නැවතත් එම සාකච්ඡාව තදින් මතු කරනු ලබන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.
තවද මෙම ඛේදවාචකයත්, මීට පෙර මෑත කාලීනව ඇති වූ රිය අනතුරු විසිනුත් මාර්ග ආරක්ෂාව, මගී ආරක්ෂාව සහ රථ වාහන විනය පිළිබඳව පවතින නීති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම බරපතල ලෙස මතු කර ඇති බවත්, එම නිසා සියලු බාධාවන් නොසළකා එම නීති රීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී” යි ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කරනවා.