2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරු දින පුද්ගලයින් 269 දෙනෙකුට ජීවිත අහිමිකරමින් දේවස්ථාන 3ක් හා හෝටල් 3ක් ඇතුලු ස්ථාන 6කට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පැවති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති බව වාර්තා වෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය අද (20) දින නිකුත් කළ නිවේදනයේ ඒ බව දැක්වෙනවා.
අදින් වසර හයකට ඉහත දී සිදුකළ මෙම ත්‍රස්ත ප්‍රහාරය මෙරට දේශපාලන ක්ෂේත්රයට ඇතිකරනු ලැබුවේ බරපතල මැදිහත් වීමක් බවයි බොහෝ දෙනා සඳහන් කරන්නේ. මෙම ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කිසිවක් නිශ්චිත වශයෙන් නොවිසඳුණු අතර සිදුවීම පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ජනාධිපතිවරයෙකුගේ මැදිහත්වීමෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දුන් පළමු අවස්ථාව මෙයයි.
මේ ජනාධිපති මාධ්‍ය ඒකකය අද (20) දින ඒ පිළිබඳව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි;
“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් CIDයට
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.
ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපතිවරයාගේ උපදෙස් මත, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව සහ අලුත් දිශානතියක් ඔස්සේ දියත් කෙරිණි.
ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර හයක් ගත වන අවස්ථාවේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීමට රජය සමත් වී ඇත.
එසේම, මෙම අපරාධය කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොතබා වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට වන සහතිකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා දී තිබේ”