වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” අද (18) සිට ආරම්භ වුණා. එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් එක්වීමට නියමිත වාර්තා වන්නේ.
වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් “සිරි දළදා වන්දනාව”ට එක් වන මෙම කණ්ඩායම අද පෙ.ව 7.00ට පමණ කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර බලා පිටත්ව ගියා. ඒ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියක අසුන් ගනිමින්.
මහනුවරට ළඟා වූ පිරිස පළමුව මහවැලි රීච් හෝටලය වෙත පැමිණි පිරිස වෙත විශේෂ සිංහල – දෙමළ අලුත් අවුරුදු සංග්‍රහයක් පිරිනමා තිබෙනවා.
කණ්ඩායම සමඟ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් එහිදී එක්විමට නියමිත අතර 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාළිගාව වෙත පැමිණි බවයි කියන්නේ. පසුව එම පිරිස යලිත් එම විශේෂ දුම්රියෙන් කොළඹ බලා පිටත්ව යන බව පැවසෙනවා.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන ‘සිරි දළදා වන්දනාව’ අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත් වීමට නියමිතයි.
ආරම්භක දිනය වන අද (18) දින ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවන බව සංවිධායකවරු පවසනවා.