මීට අවුරුදු 12,500කට පෙර ලෝකයෙන් වඳවීගොස් තිබූ Dire wolf (Aenocyon dirus) නැවතත් බිහි කිරීමට නූතන විද්‍යාඥයින්ට හැකිව තිබෙනවා. එක්තරා ආකාරයකට එය ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිමවූ ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ කතාව සිහිගන්වන්නක්. එකල විද්‍යා ප්‍රබන්ධයක් වූ ජුරාසික් පාර්ක් ඇස් මනාපිට දැකීම විශ්මයක්.

Dire wolf සතුන් තුන්දෙනෙක් ජාන තාක්ෂණය මගින් නැවත බිහිකිරීමට සමත්ව තිබෙන්නේ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය ආශ්‍රිත Colossal Biosciences නම් පරීක්ෂණ සමාගම. අදින් වසර 12,500කට පමණ පෙර වඳවී ගිය Dire wolf නැවත බිහි කිරීම එවැනි සත්ව විශේෂයක් නූතන විද්‍යාව විසින් නැවත ලෝකයට ජීවමානව ගෙන ආ පළමු අවස්ථාව මෙයයි.
Colossal Biosciences ආයතනය නිකුත් කළ ප්‍රකාශයන්ට අනුව, 2024 ඔක්තෝබර් 1 වන දින Dire wolf පිරිමි සතුන් දෙදෙනෙකු සහ 2025 ජනවාරි 30 වන දින ගැහැණු සතෙකු යලි බිහිකර තිබෙනවා.

Colossal Biosciences ආයතනය ආරම්භ කර ඇත්තේ 2021 සැප්තැම්බර් 13 දා යි. මේ සමාගම වසර 13,000ක් පැරණි Dire wolf දතකින් සහ වසර 72,000ක් පැරණි තවත් Dire wolf හිස් කබලකින් ලබාගත් ජාන සංස්කරණය කරමින්. වර්තමානයේ ජීවත්වන Gray wolves (Canis lupus) යොදවා ක්ලෝන තාක්ෂණය උපයෝගී කරමින් මෙම Dire wolf පැටවුන් තිදෙනා බිහිකර තියෙනවා. මෙම සමාගම මැමත් ඇතුන්, ඩෝඩෝ පක්ෂීන් සහ ටස්මේනියානු කොටියන් බිහිකිරීමටත් මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටින බවයි කියන්නේ.
Dire wolf පැටවුන් තිදෙනා බිහිකිරීම සැලකෙන්නේ ලෝකයේ වඳවී ගිය සත්ව විශේෂයක් යලි බිහිකළ සාර්ථක පළමු අවස්ථාව ලෙසයි.
මිහිමතින් අතුරුදහන් වූ මේ ප්‍රාග් ඓතිහාසික වෘකයා උතුරු ඇමරිකාවේ සැරිසැරූ ඉහළම විලෝපිකයෙක්. මේ වෘකයා ජීවත් වී තිබෙන්නේ ප්ලයිස්ටොසීන් යුගය කෙලවර හොලොසීන් යුගයේ මුල් අවදියේ. ඒ වසර 125,000 -10,000 කට පෙර යි. Dire wolf යනු දැනටමත් ජීවත්වෙන Gray wolvesට වඩා ප්‍රමාණයෙන් විශාල වූ අතර තරමක් පළල් හිසක්, සැහැල්ලු ඝන ලොම් සහ ශක්තිමත් හකු තිබූ වෘක විශේෂයක්. අදින් වසර 12,700කට පමණ පෙර ඇතිවූ බවට විද්‍යාඥයින් විශ්වාස කරන ‘පසු ප්ලයිටොසීන වඳවීම (Post-Pliocene extinction) දී කිලෝග්‍රෑම් 44 (රාත්තල් 97) ට වඩා බරැති ක්ෂීරපායී ගණ (Mammalian genus) 90 ක් පමණ වඳ වී ගියබව විශ්වාස කරනවා. ඒ අතර විශාල ශාකභක්ෂක ගොදුරු වඳ වී යෑම ඔවුන් මත යැපුණු විශාල මාංශ භක්ෂකයින්ට මෙන්ම කුණු කසළ ඉවත් කරන්නන් (Garbage collectors) වඳ වී යාමට හේතුවී තිබෙනවා. Dire wolf මිහිමතින් වඳවී ගියේ ඒ අනුව බවයි කියන්නේ.

මිහිමතින් වඳවී ගිය සතුන් යලි බිහි කිරීම වෙනුවෙන් කටයුතු කරන Colossal Biosciences ආයතනය තමන් කිසිවිටෙකත් Dire wolf යලි බිහිකිරීමේ උත්සහයක නිරත වන බව පවසා තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් පවසමින් සිටියේ තමන් මැමත් ඇතුන්, ඩෝඩෝ පක්ෂීන් සහ ටස්මේනියානු කොටියන් බිහිකිරීමට පර්යේෂණ කරන බවයි.
“මේ දැවැන්ත සන්ධිස්ථානය අපගේ වඳ වී ගිය සතුන් පණගැන්වීමේ තාක්‍ෂණ එකතුව ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රියාත්මක වන ආකාරය පෙන්නුම් කරන බොහෝ ඉදිරි උදාහරණවලින් පළමුවැන්න යි. අපේ කණ්ඩායම අවුරුදු 13,000ක් පැරණි දතකින් සහ අවුරුදු 72,000 ක් පැරණි හිස් කබලකින් DNA ලබාගෙන නිරෝගී Dire wolf පැටවුන් තුන්දෙනෙක් හැදුවා” සිය කාර්යය පිළිබඳව මාධ්‍යට පවසන Colossal Biosciences හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Ben Lamm සඳහන් කරනවා.
Colossal Biosciences සමාගම මේ පැටවුන් තිදෙනා අක්කර 2,000 ක භූමි ප්‍රමාණයක ජීවත්වෙන බව පවසනවා. ඒ භූමිය අඩි 10ක් උස (මීටර් 3ක්) ප්‍රමිතිගත ආරක්‍ෂිත වැටකින් ආරක්ෂා කරමින් පැටවුන් තිදෙනා ජීවත් වෙන බව පවසන සමාගම තවමත් ඒ ස්ථානය පිටතට හෙළිකර නැහැ. අදාළ නිරීක්ෂණ කණ්ඩායම් ඩ්‍රෝන ආධාරයෙන් සජීවී දර්ශන ලබා ගනිමින් අඛණ්ඩව පැටවුන් තිදෙනා නිරීක්ෂණය කරමින් සිටින බව සමාගම පවසනවා.

ලබාගත් ජාන කට්ටල 14ක් යොදා ගනිමින් ඒවාට විවිධ වෙනස්කම් 20ක් සිදු කර සැකසූ ජාන තෝරාගත් ජීවත්වන Gray wolves (Canis lupus) ඩිම්භ සෛල තුළට ඇතුළු කළ බවයි පර්යේෂණයේ නිරත වූ අය සඳහන් කරන්නේ. අනතුරුව ඒවා ඊළඟට එය Gray wolves (Canis lupus) ධේනුවන් තිදෙනෙකුගේ ගර්භාෂ තුළ තැන්පත් කර තිබෙනවා. ඊට පෙර සිය රසායනාගාරය තුළ අදාළ සෛල පරිණත වීමට ඉඩ දී තිබුණා. ඉන් පසුවයි Romulus, Remus සහ Khaleesi ලෙස නම් කර ඇති Dire wolf පැටවුන් තිදෙනා බිහිකර ඇත්තේ.

2024 ඔක්තෝබර් 1 වන දින සිසේරියන් සැත්කමක් හරහා Dire wolf පිරිමි පැටවුන් දෙදෙනා (Romulus, Remus) උපත ලැබූ බව පවසන සමාගම, 2025 ජනවාරි 30 වන දින ගැහැනු පැටවා Khaleesi බිහි වූ බව කියනවා.
ස්ටොක්හෝම් විශ්ව විද්‍යාලයේ ප්‍රාග් ජාන මධ්‍යස්ථානයේ පරිණාමීය ජාන පිළිබඳ මහාචාර්ය සහ Colossal Biosciences හි උපදේශක Love Dalén සඳහන් කරන්නේ තම ඉලක්කය සපුරා ගැනීම සඳහා තම සමාගම CRISPR (Clustered Regularly Interspaced Short Palindromic Repeats) තාක්ෂණය භාවිතයෙන් දෙමුහුන් ජාන නිර්මාණය කිරීමේ දී ඇතැම් Gray wolves (Canis lupus) ජාන ප්‍රභේද ඉවත් කර ඒවා Dire wolf හා සම්බන්ධ ගති ලක්ෂණ සමඟ එක්කළ බවයි.

2021 සැප්තැම්බර් මාසයේ දී හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යාඥ George Church විසින් Colossal Biosciences සමාගම ආරම්භ කර වඳ වී ගිය මැමත් විශේෂය නැවත බිහිකිරීම ප්‍රකාශයට පත් කළ දා සිට ඒ සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 435ක අරමුදල් රැස් කර ඇති බව අනාවරණය වෙනවා. 2028 දී පළමු ලොම් සහිත මැමත් පැටවුන් ලොවට හඳුන්වා දීමට නියමිත බවත් සමාගම පවසනවා.
මේ අතර ඇතැම් දෙනා පවසන්නේ වඳවී යාම ස්වාභාවික සංසිද්ධියක් නිසා වඳවී ගිය සත්ව විශේෂයන් යලි බිහි කිරීම සදාචාර විරෝධී මෙන්ම ඇතැම් විටෙක භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බවයි.