අගමැති මෝදි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳියි

මෙරට තෙදින රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී ජනාධිපති අනුර දිසානායක මහතා සමඟ එක්ව  අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තා.

උඩමළුව වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති  පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරතව තිබුණා. තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේ දී සිදු කරන ලද කැනීම්වලින් සර්වඥ ධාතුන් වහන්සේලා සොයා ගත් බවත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

බුද්ධගයාව අධ්‍යාත්මික නගරයක් ලෙස සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති හිමියන් විසින් කළ ඉල්ලීම කෙරෙහිද අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර දිසානායක මහතා සමඟ සාකච්ඡා කර එහි ඉදිරි පියවර ගන්නා බව ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ආශිර්වාදය පළ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි, එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබුවා.

ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ඉදිකෙරුණු අභිනව මකර තොරණ විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවුණා.

රුවන්වැලි සෑය චෛත්‍ය විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථාන විහාරාධිපති ස්වාමීන් වහන්සේලාද,  විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Recent Post