පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් ඊයේ (අප්‍රේල් 05) විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්රමුඛව යි.
ජනාධිපති අනුර දිසානායකගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ආපදා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා. ඉතා කෙටි කාලයක් තුළ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආපදා සහන සේවා කණ්ඩායම් සූදානම් කර ඇති බවයි කියන්නේ.
ථේරවාදී බුදු දහම නැවත මෙරට ස්ථාපිත කිරීමට දායකත්වය ලබාදුන් ලෝකයේ ප්‍රධානතම බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරයට ආපදා සහන මානුෂීය සේවාවන්ට අමතරව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්රමුඛ සංඝරත්නයේ මූලිකත්වයෙන්, දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ජනතාව විසින් පරිත්‍යාග කරනු ලදුව එක් රැස් කරනු ලැබූ වෛද්‍යාධාර ඇතුළු සහනාධාර තොගයක් ද, මෙම කණ්ඩායම සමඟ මියන්මාර රජය වෙත යැවීමට කටයුතු කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්රමුඛ කාර්ය මණ්ඩලය මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදු කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කරන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම මීට උපරිම දායකත්වය ලබාදුන් බවයි වාර්තා වන්නේ.
මෙම මානුෂීය මෙහෙයුම් ඔස්සේ, කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම හදිසි ආපදා තත්ත්වයකදී මිත්‍ර පාර්ශ්වික රාජ්‍යයන් වෙත අවශ්‍ය සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ප්රමුඛ ආරක්ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවේ කැපවීම මනාව පිළිඹිබු කෙරෙන බව මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.