අනුරගේ ආරාධනයෙන් ආ මෝදිට පේෂලගෙන් “තාල නන්දශ්‍රී’

ජනාධිපති අනුර දිසානායකගේ ආරාධනයෙන් මෙරට ට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි වෙත සංගීතවේදී පේෂල මනෝජ් විසින් සිය “තාල නන්දශ්‍රී” (Taal Nandasiri 8.5 Beats) තිලිණ කර තිබෙනවා. මේ ඒ පිළිබඳව ඔහු විසින් සිය FB හී තබා ඇති සටහනයි.

“මගේ රිද්මයානුකූල ගමනේ දී මට විවිධ විශිෂ්ට අවස්ථා ලැබුණි. එහෙත්, අද දිනය ඉතාම අරුත්පූර්ණ, පූජනීය සහ අභිමානවත් අවස්ථාවක් බවට පත්විය. ඒ සඳහා හේතුව වන්නේ, මෙදින මගේ නවතම නිර්මාණය වන “තාල නන්දශ්‍රී” (Taal Nandasiri 8.5 Beats) ජනතාවට හඳුන්වාදීම යි.

මෙය මගේ දිවංගත ගුරු, සංගීත් නිපුන් පී.වී. නන්දසිරි මහතාට උපහාරයක් ලෙස කරන ලද නිර්මාණයකි.

මගේ නිර්මාණයට අගයක් එක්කරමින්, එය සංගීත කලා ක්ෂේත්‍රයට හඳුන්වාදීමටත්, පටිගත කිරීමටත්, බෙදා හැරීමටත් සහාය වූ ඉන්දියානු මහ කොමසාරිස්තුමන්ට, ඔහුගේ කාර්ය මණ්ඩලයට, එමෙන්ම ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන්ට සහ කාර්ය මණ්ඩලයටත් මාගේ හද පිරි ස්තුතිය පළකරමි.

මගේ නිර්මාණය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට ඉදිරිපත් කරන විට, ඔහු ඒ සම්බන්ධයෙන් සත්‍යයෙන්ම සාවධානීව හිඳීම පුදුම සහගත ය. ජීවිතය පිළිබඳව මට උතුම් උපදෙස් ද ලබාදෙමින් මට ආශිර්වාද කිරීමට ද එතුමා නොපැකිලි විය.

මට අධ්‍යාපනය ලබාදුන්, මට නව පරිණාමයකට ලක් වීමට හේතු වූ, ලක්නව් ගාරන හී මගේ ගුරු ඛලීෆා, උස්තාද් ඉල්මාස් හුසේන් ඛාන් තුමාට ගෞරවය හා ස්තුතිය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

අවසන් වශයෙන්, මෙම සියලු ක්‍රියාවලියේ දී මා සමඟ දිවා රාත්‍රි මහන්සිවී පුහුණුවීම් සහ පටිගත කිරීම් සිදු කළ මාගේ ශිෂ්‍යයන්ටද මාගේ ආචාරය පළකරමි.

සංගීත ක්ෂේත්‍රය තුළ නව විෂය පථයක් නිර්මාණය කිරීම සඳහා, අනාගතයේ වැඩි වශයෙන් දායක විය හැකි යැයි බලාපොරොත්තු වෙමි.

ස්තුතියි!

පේෂල මනෝජ්”

Recent Post