ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඊයේ (04) සන්ධ්‍යාවේ දිවයිනට ළඟා වුණා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත විසින් ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ඇතුළු රාජතාන්ත්‍රික නියෝජිත පිරිස මහත් හරසරින් පිළිගන්නා ලැබුවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් මෙවර අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරෙනවා.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වන සිව් වන අවස්ථාව මෙය වන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා ඓතිහාසික සබඳතා තවදුරටත් තර කර ගැනීමත් දෙරට අතර බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කර ගැනීමත් මෙම රාජ්‍ය සංචාරයේ අරමුණු යි.
මෙම සංචාරය අතරතුර ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිත යි.
මෙරට රැඳී සිටින කාලය තුළ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමටද නියමිත අතර ඉන්දියානු රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමටද නියමිත යි.

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඇතුළු ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරන්නේ.