මීට වසර 54 කට පෙර 1971 අප්‍රේල් අප්‍රේල් 05 වැනිදා මධ්‍යම රාත්‍රියට ඔන්න මෙන්න තිබෙද්දී ධනපති පන්ති පාලනයට එරෙහිව ලාංකික පීඩිත පන්තියෙන් එල්ල වූ දරුණුතම විරෝධය පුපුරා ගියේය. ධනපති පාලනය අන්ද මන්ද වී බියෙන් ඇලළී ගියේ අරගලයේ දිග පළල කොතෙක්දැයි සිතා ගැනීමටවත් නොහැකි වූ නිසාවෙනි. දිවයිනේ හතරදිග් භාගයම සිසාරා විසිරි එල්ල වූ ප්‍රහාරයකින් 1971 අප්‍රේල් අරගලය සමාරම්භ විය. ලාංකික ඉතිහාසයේ ධනපති පාලනයට එරෙහිව පීඩිත පන්තිය විසින් එල්ල කරන ලද ප්‍රථම ප්‍රහාරය ඉතිහාසයේ ඒ අයුරින් සනිටුහන් කළේය.
ඒ තුළ අන්තර්ගත වූ පරම සත්‍යයන් හා පරමාදර්ශයන් බොහෝය. මිනිස් සමාජය තුළ සමාජ සංවර්ධනයට දැවැන්ත නායකත්වයන් සැපයූ යුගපුරුෂයින් ලොව කලින් කල පහළ විය. ඒ බොහෝ අවස්ථාවල අප දැක ඇත්තේ තනි තනි පුද්ගලයින් ලෙස තම තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය සමාජගත කරන ආකාරයයි. ලාංකික ඉතිහාසය තුළද එබඳු යුගපුරුෂයින් අපට හමුවෙයි. ඒත්, ඒ තනි තනි පුද්ගලයින් වශයෙනි. 70 දශකයෙහි මුල් භාගයේ ලාංකීක භූතලය මත අපට හමුවන්නේ එබඳු සුවිශේෂි චරිත එකක් දෙකක් නොව දසදහස් ගණනකි.
විප්ලවීය ගුණාංග

ඔවුන්ගේ කෙසඟ, එහෙත් ඕනෑම කටුකත්වයකට ඔරොත්තු දෙන ශක්තිමත් දේහයන් තුළ අප දුටුවේ ආත්ම විශ්වාසය, චිත්ත ධෛර්යය, නොසැලෙන අධිෂ්ඨානය වැනි උත්තරීතර විප්ලවීය ගුණාංගයි. මෙහි විශේෂත්වය වන්නේ ජවිපෙ ආරම්භකොට වසර හයක් සපිරෙන්නටත් කලින්, ධනවාදි පාලනයට එරෙහිව තීරණාත්මක ලෙස සටන් වැදීමට පීඩිත පන්තිය සංවිධාන කළ හැකි වීමයි. 1965 ආරම්භ කළ පක්ෂය වසර හයක් ගතවීමටත් පෙර දසදහස් ගණන් පීඩිත තරුණ, ශිෂ්‍ය බලවේගයක් එකම එක යෝධ මිටකට සංවිධාන කිරීම යනු හිතාගන්නටවත් නොහැකි තරම් අරුම පුදුම කාර්යයක් විය. ජවිපෙ බිහිවීම නිකම්ම – නිකම් හිතුවක්කාරි ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවන බවට හොඳම නිදර්ශනය පීඩිත, තරුණ ශිෂ්‍ය බලවේගයක් එතරම් කෙටි කාලයක් තුළ දැවැන්ත සංවිධානයක් බවට ගොනුකර ගැනීමට තිබූ හැකියාවයි. 71 අරගලයේ ක්‍රියාකාරීන් නොමඟ ගිය පිරිසක් බවට ඒත්තු ගැන්වීමට ධනවාදි පාලනය උත්සාහ ගත් නමුත් එය එසේ නොවන බවත් ඔවුන් හොඳම හොඳ විප්ලවවාදී ජීවගුණයෙන් පරිපූර්ණ වූ පිරිසක් බවත්, තම මවුබිමත් එහි ජීවත්වන පීඩිත ජනතාවත් වෙනුවෙන් තමන් සතු වටිනාම වස්තුව වූ තම ජීවිතය පරිත්‍යාග කොට ඉහළම ආදර්ශය ලබා දුන් පිරිසක් බවත් ඔප්පු වී හමාරය. එවන් පිරිසක් ගොඩනඟා ගැනීමට සමත් වූ දේශපාලන ව්‍යාපාරය සැබෑ ලෙසම විප්ලවවාදී ව්‍යාපාරයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
අප්‍රේල් අරගලයට වසර 54ක් සපිරෙන මේ මොහොතේ යළිත් වතාවක් අප්‍රේල් විරුවන් සමරනු ලබන්නේ අන් කවර හේතුවක් නිසාවත් නොව, ඔවුන්ට හිමිවිය යුතු විප්ලවවාදී ගරුත්වය හිමිකර දීමටයි. එය කළ හැක්කේ තම ජීවිත පරිත්‍යාග කරද්දි ඔවුන්ගේ සිත්සතන් තුළ පුරවාගෙන තිබූ ශ්‍රේෂ්ඨ අරමුණු යථාර්ථයක් බවට පත් කිරීමෙන් පමණි. ඔවුන්ගේ අරමුණු හා අපේක්ෂා මුදුන්පත් කිරීමෙන් පමණි.
අචල විශ්වාසය හා විප්ලවවාදී විනය

අප්‍රේල් වීරවරයින් තම භාවිතාවෙන් පෙන්වූ විප්ලවවාදී ගුණාංග අපමණයි. ඒ අතරින් ඉතා වැදගත් ගුණාංගය වන්නේ අරගලය පිළිබඳ කිසිදු දෙගිඩියාවකින් තොර අචල විශ්වාසයයි. 71 අරගලයට සහභාගි වූ අයගෙන් ආරක්ෂක හමුදාවල සිටි අය හැරුන විට සෙසු කිසිවෙක් විශේෂ ආයුධ පුහුණු ලැබූවන් නොවේ. හිස් පැරකුම් කිරි ටින් එකක පුරවා අතට දුන් අත්බෝම්බයක් රැගෙන සන්නද්ධ හමුදා ඛණ්ඩ සහ පොලිස් බළකායන් ඉදිරියට ගොස් ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් ඔවුහු නිර්භීත වූහ. එසේ යෑමට ඔවුන්ගේ දෙපාවලට ශක්තිය ලැබුණේ, විප්ලවවාදී ව්‍යාපාරය විසින් පුහුණුකොට ප්‍රගුණ කරන ලද මනා විනයකින් යුක්ත වීමයි. සමාජ විප්ලවයකට පණ පොවන්නන් තුළ මනා හික්මීමක් සහ ඉහළ විනයක් තිබිය යුතුය. ඒ විප්ලවවාදි ගුණය අප්‍රේල් වීරවරයන් සතුව නොඅඩුව තිබුණි. අප ඔවුන්ගෙන් උකහාගත යුත්තේ ඔවුන්ගේ ඒ විප්ලවවාදී විනයයි. අප ඔවුන්ට ගරු කරන්නේ නම් සමාජ විප්ලවය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන විප්ලවවාදි විනය ඔවුන්ගෙන් උගත යුතුය.
අද, මුද්‍රණය කොට තාප්ප පුරා අලවන ‘ලොකු අකුරු පෝස්ටර් කලාව’ මුල්වරට දිවයිනට හඳුන්වා දුන්නේ අප්‍රේල් වීරවරයින් ය. ඔවුන්ට පෝස්ටරයක් ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වී නම්, අතින් අඳින ලද අලංකාර දැවැන්ත පෝස්ටර් දිවයින පුරා හතරදිග් භාගයේම අස්සක් මුල්ලක් නෑර එක රැයින් අලවා දමා වෙලාවට වැඩ කිරීම සහ උපක්රමික වැඩ කලාව එක්වර පසක්කර පෙන්වීය. එය පාලකයින් තුෂ්නීම්භූත කිරිමට තරම් සමත් කාර්යයක් විය. එහෙයින් ව්‍යාපාරයේ තරම කොතෙක්දැයි සිතා ගැනීමට සතුරා අපොහොසත් විය.
ධනේශ්වර හමුදා පෙළපාළියක විධානයට අනුව සටන්කාමී ලෙස පාද තබා අංග චලනය කොට දක්වන හමුදා විනය විප්ලවවාදීන් තුළ ඊට වඩා හොඳින් තිබිය යුතුය. වෙලාවට වැඩ කිරීමේ හා විධානයට අනුව යුහුසුලුව ක්‍රියාත්මක වීමේ විප්ලවීය ගුණාංගය අප්‍රේල් සගයින් තුළ නොඅඩුව තිබුණි. අප්‍රේල් වීරවරයින්ගේ අරමුණු හා පරමාර්ථ මුදුන්පත්කොට ඔවුන්ට විප්ලවීය ගෞරවය පුද කිරීමට අප අදහස් කරන්නේ නම් වේලාවට, කාර්යශූර ලෙස වැඩ කිරීමේ කලාව අප සතුව තිබිය යුතුය, හැකිනම් ඔවුන්ගෙන් ඒ විප්ලවීය ගුණාංග අප උගත යුතුය.
ස්වයං විවේචනය හා විවේචනය

සුපරීක්ෂාකාරිත්වය හා සහෝදරත්වය අප්‍රේල් වීරවරයින් විදහා දැක්වූ තවත් විප්ලවීය ගුණාංගයකි. ස්වයං විවේචනය හා විවේචනය ඔවුන් නොඅඩුව ප්‍රගුණ කර තිබූ හෙයින්, තමන්ගෙන් සිදුවන අඩුපාඩු හා අතපසුවීම් යළි නොවන්නටත් තම සටන් සගයින්ගේ අඩුපාඩු හා අතපසුවීම් විවෘතව පෙන්වා දී ඔවුන් නිවැරදි කර ගැනීමටත් ඉතා පහසු විය. ඔවුන් තුළ පැවති සුපරීක්ෂාකාරිත්වය භාවිත කළේ ඇති තරම් අඩුපාඩු සොයා විවේචන ගෙනැවිත් අනිත් සගයා අපහසුතාවට පත් කිරීම සඳහා නොව ඔහු මුහුණ දෙන දුෂ්කරතා සහ කටුකත්වය හඳුනාගෙන තමන්ට හැකි අයුරින් තම සටන් සගයා එම තත්ත්වයෙන් මුදාගැනීම සඳහාය. එකම නවාතැනේ රැය ගෙවා පාන්දරම තමන්ට පැවරුණු කාර්යය වෙනුවෙන් පිටත්වන තම සටන් සගයා විමසා ඔහු අත, මඟ වියදම පවා නොතිබුණේ නම් තම වියදමට තිබූ ගතමනාව තම සගයාට දී පිටත්කර හැර ඉන් අනතුරුව තම වියදමට කීයක් හෝ සොයා ගැනීමට එදා අප්‍රේල් සටන් සගයින් පුරුදුව සිටියේ ඔහුගේ කාර්යයන් අනෙකාගේ කාර්යයන් දෙකක් නොව එකක් ම වන බවත්, දෙදෙනාගේම කාර්යයන් අවසානයේ සේවය කරන්නේ සමාජ විප්ලවය සඳහාම බවත් ඔහු පසක් කරගෙන සිටි නිසාවෙනි.
කැප කිරීම හා වැඩ කිරීම
ඔහු විප්ලවය උදෙසා වැඩ කළේය. වැඩි වැඩියෙන් වැඩ කළේය. එහෙත්, ඉවක් බවක් නැතිව වැඩ කිරීමක් නොවේ. ඉලක්කයක් සහිතව වැඩ කිරිමකි. කෙනෙකු විප්ලවවාදී ව්‍යාපාරය සොයාගෙන විත් ඇඟේ හැපෙනතුරු බලා නොසිට පන්ති සාකච්ඡා කොට දේශපාලන අවබෝධය ලබා දී සංවිධාන ගතකිරීමට ඔහු බලාගෙන සිටියේය. විප්ලවයට නායකත්වය දීමට හැකියාව ඇති ප්‍රබල චරිත සොයා ඉලක්කසහගතව හඹා ගියේය. අවසානයේ තම ඉලක්කය සපුරා ගැනීමට ඔහු සමත් විය. අනතුරුව තවත් කෙනෙකු ඔහුගේ ඉලක්කයට හසුකරගෙන ඔහු පසුපස හඹාගොස් තම ඉලක්කය සපුරාගන්නේ ය. ගම්බිම් වැඩබිම් සිසාරා, පාසල් විශ්වවිද්‍යාල සිසාරා හඹාගොස් එක්රැස් කරගත් ප්‍රබල සමාජ චරිත 71 අප්‍රේල් අරගලයේ පෙරමුණු බලවේගය විය. අදත් අප සොයා යා යුත්තේ එබඳු අයයි. අදත් අප හඹා යා යුතු වැඩ රටාව එයයි.
මෝස්තර හා විලාසිතා වැලඳ නොගැනීම
මෝස්තර සහ විලාසිතා එදාත් අද මෙන් සමාජය පුරා අරක්ගෙන තිබුණි. තරුණ පරපුර ඒ තුළ වෙළී ගැලී පැටලී තිබුණි. මෝස්තර විලාසිතා පසුපස දුවන්නන්ට මෝස්තර, විලාසිතා මිස රටේ එදිනෙදා සිදුවන දේ හෝ ඊට මුහුණදී ඇති අතුරු අන්තරා හෝ අදාළ නැත. ඔවුන්ගේ මනෝභාවය සැකසී ඇත්තේ මෝස්තර හා විලාසිතාවන් මතමය. ධනවාදී පාලනය ද මෙම තත්ත්වය හොඳට අධ්‍යයනය කර ඇත. එහෙයින් එකක් යල් පැන යෑමට පෙර තවත් එකක් වශයෙන් මෝස්තර විලාසිතා වෙළෙඳපොළට ගලා එයි. විශේෂයෙන් ම තරුණ පරපුර මේ පසුපස දුවන බැවින් මෙම තත්ත්වය විප්ලවවාදී ව්‍යාපාරයකට අතිශයින් ම අහිතකර වෙයි. එබැවින් අප්‍රේල් සගයින් එකකට පසු එකක් වශයෙන් සමාජගත වන විලාසිතා සහ මෝස්තර වැලඳ නොගත්තේ ය. ඔවුන් කොණ්ඩය හා රැවුල වැවුවේත්, කැපුවේත් විටින් විට මාරුවන විලාසිතාවන්ට අනුව නොවේ. තමන්ගේ අනන්‍ය ක්‍රමවේදයකට අනුව පමණි. එක් එක් විලාසිතාවන්ට අනුව තමන් අඳින ඇඳුම මාරුකරන්නට ඔහුට නොහැකිය. මන්ද? ඔහු වෘත්තීය විප්ලවවාදියෙක් වන හෙයින් ඔහුට අඳින්නට ලැබුණේ කාගෙන් හෝ ලැබෙන ඇඳුමක් කැඩුමක් වන හෙයිනි.
විශ්ව දැනුම
අද මෙන් අධ්‍යාපන කව අධ්‍යාපන සම්මන්ත්රණ, අධ්‍යාපන වැඩමුළු එදා නොවීය. තිබුණේ ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වූ අධ්‍යාපන කඳවුරු පමණි. එහිදී මූලික අධ්‍යාපන මාතෘකා පුළුල්ව සාකච්ඡා කෙරුණ අතර, න්‍යායික කරුණුද සාකච්ඡා කෙරුණි. එහෙත් ඊටම සීමා නොවී, කොහෙන් හෝ සොයා ගත් විප්ලවවාදි සාහිත්‍ය පොත්පත්, මාක්ස් ලෙනින්වාදී න්‍යායික පොත්පත් එබ්රහම් ටී. කොවුර්ගේ හේතුවාදි පොත්පත් මෙන් ම ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ පොත්පත් ආදිය ඉඩ ලද හැම විටම පරිශීලනය කළේය. එහෙයින් ඔහුගේ දේශපාලන දැනුමට අභියෝග කළ හැකි කිසිවෙක් එදා නොසිටියේය. අප්‍රේල් වීරවරුන් වීරවරියන්, ප්‍රගුණ කළ තවත් විප්ලවවාදී ගුණාංග බොහෝ ය. අප්‍රේල් සගයන් සෙසු සගයින්ට අසීමිතව ගරු කළේය. ඒ, තමා මෙන්ම ඔවුන් ද සමාජ විප්ලවය වෙනුවෙන් කැපකිරීම් කරන්නන් වන නිසාය. මද්‍යසාර, මත්ද්‍රව්‍ය හා දුම් පානය ඔහු පිළිකෙව් කළේය. ඒ බොහෝ කෙනෙකුගේ බලපෑමක් නිසා නොවේ. තමන් ජනතාවගෙන් යැපෙන්නන් වන හෙයින් ද, ජනතාවගෙන් ලැබෙන සොච්චම් මුදලක් හෝ සමාජ විරෝධී දුරාචාර කටයුත්තකට වැය කිරීම අසාධාරණයක් වන හෙයින් ද, යහපත් මනෝභාවයකින් යුතුව සමාජ විප්ලවයට දායකත්වය ලබා දිය යුතු හෙයින් ද, ඔහු ඒවා පිළිකෙව් කළේය. ධනපති ආරක්ෂක හමුදාව ඉදිරියේ තම විප්ලවවාදී ජීව ගුණය වැහැරෙන්නට ඔහු ඉඩ නුදුන්නේ ය. තම පන්ති සගයන් කිසි විටෙක පාවා නුදුන්නේ ය. සාමාජ සංවර්ධනයේ අභිවෘද්ධිය වෙනුවෙන් නොසැලී, එඩිතරව ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන් ලෙස තම ජීවන කුසුම පූජා කළේය. සැබෑ විප්ලවවාදියකු තුළ මේවා හැරෙන විට තවත් අඩු කුමන ගුණාංග ද?
අප්‍රේල් සගයන්ගේ මේ අසීමිත විප්ලවවාදී ගුණාංග නිසා එදා ව්‍යාපාරය අත්හැර දැමූ, ඇතැම් විට ආරක්ෂක හමුදා හමුවේ නිවටව වැහැරුණු එතැන් සිට මේ දක්වා ව්‍යාපාරය වෙනුවෙන් අබමල් රොනක දායකත්වයක් නොදුන්, ඇතැමුන් අද විවිධ ජනමාධ්‍ය හරහා 71 අරගලයේ තමන් දායක වූ ආකාරය කියන්නට පෙළගැසී ඒ හරහා තමන්ට යම් වටිනාකමක් උපයා ගැනීමට පෙලඹී තිබේ. අප්‍රේල් වීරවරුන්ගේ හා වීරවරියන්ගේ අනුපමේය විප්ලවීය ගුණාංගයන් එයින් තව තවත් ඔප් නැංවෙන බව ඉතා පැහැදිලිය.
1965 ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන කටයුතු කරගෙන යද්දි, ඒ වන විට පැවති යූ.එන්.පී. ආණ්ඩුවත්, ඉන් පසුව 1970 දී බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුවත් එන්න එන්නම ජවිපෙ මර්දනය කිරීමට කටයුතු කළ හැටි මතක ය. 1971 අරගලයට පාර කැපුණේ ඒ මර්දනයට මුහුණ දීමේ පියවරක් හැටියට ය. විප්ලවවාදී පක්ෂයක් හැටියට ජ.වි.පෙ. ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වූ අතර දසදහස් ගණනක් වීරවරුන් සහ වීරවරියන් තම ජීවිත පරිත්‍යාග කළේ තම මවුබිම වෙනුවෙනි. එහිදී දිවිදුන් වීර සගයින් තම විප්ලවීය ගුණාංග රැකගත් ආකාරය අතිශය විස්මයජනකයි.

දිවි රැකගත්, එහෙත් නොයෙක් වධ බන්ධනවලට ලක් වූ විසිදහසක් පමණ දෙනාගෙන් යම් පිරිසක් නිදහස් වී පැමිණ නැවත ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන කටයුතු අරඹා 1983 පමණ වන විට යළි විප්ලවවාදී ජීව ගුණය සහිත කාඩර්වරුන් දසදහස් ගණනක් විසින් ජ.වි.පෙ. යළි දැවැන්ත විප්ලවාදී ව්‍යාපාරයක් බවට පත් කරනු ලැබීය.
මෙම තත්ත්වයට බිය වූ ජේ.ආර්. ප්රමුඛ උග්‍ර ප්රතිගාමී ධනේශ්වර ආකල්පවලින් පිරුණු යු.එන්.පී. පාලනය දෙමළ ජනතාව සංහාරය කිරීමේ මුවාවෙන් බොරු චෝදනා නඟා ජ.වි.පෙ. තහනම් කොට මර්දනය යළි පටන් ගත් හැටි අපට මතකය. 1987 ඉන්දු – ලංකා ගිවිසුම හරහා ඊට පාවාදීමට එරෙහිව සියලු දේශප්‍රේමි ජනතාව ඒකරාශි කොට, ගිවිසුමේ කොන්දේසියක් අනුව මේ රටට ගෙන්වා ගත් ඉන්දියානු හමුදාව හා රට පාවාදුන් එ.ජා.ප. ආණ්ඩුව පලවා හැරීමේ කාර්යය වෙනුවෙන් සන්නද්ධ අරගලයක් ඇරඹූ බව ප්‍රකට කාරණයකි.
1987 – 89 කාලය තුළ රටේ පැවතුණේ සන්නද්ධ අරගලයකි. මෙම අරගලයේදී ජ.වි.පෙ. සහෝදර සහෝදරියන් තම විප්ලවවාදී ගූණාංග ප්‍රදර්ශනය කළ ආකාරය පිළිබඳ කතා මහා පරිමාණයෙන් සමාජගත වී තිබුණි. කෙසේ නමුත් කුරිරු පාලකයින්ගේ කූටප්රාප්තියට පත් සටන් උපක්‍රම මඟින් ජ.වි.පෙ. නායක මණ්ඩලය ඇතුළු 60000ක් පමණ වන පීඩිත පන්තියේ විමුක්තිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ විරෝදාර සගයින් පිරිසක් නොයෙක් වධ බන්ධනයට ලක්කොට ටයර් සෑයවලට, සමූහ මිනීවළවලට ගොඩගැසූ හැටි අපට හොඳට මතකය. 1994න් පසුව වසර තිහක් පමණ ගතවන විට එදා සමූල ඝාතනය කරන ලද ජ.වි.පෙ.ට නිරායුධ ප්රජාතන්ත්රවාදී මැතිවරණය හරහා ආණ්ඩු බලය ලබා ගැනීමේ හැකියාව ඇති වූයේ කෙසේද? ජ.වි.පෙ. ප්‍රධාන කොට ගත් ජාතික ජන බලවේගයට 2024 මැතිවරණයේ දී මෙතරම් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබිය හැකි වූයේ රෝහණ විජේවීර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් 1965 දී ආරම්භ කළ පක්ෂය එදා සිටම මේ දක්වාම සැබෑ විප්ලවවාදින්ගේ කාර්යභාරය ඔවුන්ගේ විප්ලවවාදී ජීව ගුණය හා කැප කිරීම් සම්භාරය එමෙන්ම ඔවුන්ගේ විප්ලවවාදී විනය, විප්ලවවාදී භාවිතාව යන මෙකී නොකී සියලු ගුණාංගයන් 2024 ජයග්‍රහණයට අසහාය නායකත්වයක් සපයා තිබුණි.

ජිනදාස කිතුලගොඩ
(මෙවර අප්‍රේල් 5 සැමරුම වෙනුවෙන් ඊයේ (04) දිනමිණ පුවත් පතෙහි පළවූ ලිපියකි)