ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවභාවිතා කරමින් රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවට රුපියල් මිලියන 100ක අලාභයක් වන ලෙස Total Parenteral Nutrition (TPN) ඇතුළු ඖෂධ නිෂ්පාදන සැපයීමේ ටෙන්ඩරයක් නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම ටෙන්ඩරය බල රහිත කෙරෙන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි අගතියට පත් වූ Slim Pharmaceuticals (PVT) Ltd සමාගම විසින් ඉකුත් 25දින අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වෙනවා.
අදාළ ටෙන්ඩරය අඩුම ලන්සුව ඉදිරිපත් කළ පෙත්සම්කාර සමාගමට ලබාදෙන ලෙස රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවත්, එහි සභාපතිවරයාත් ඇතුළු වග උත්තරකරුවන් 9 දෙනෙකුට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. එම ටෙන්ඩරයට අදාළව කැඳවූ ලන්සු නැවත ඇගයීමට ලක්කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා සිටිනවා. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවභාවිතා කරමින් ටෙන්ඩරය ලබා දීම අනුව ඉදිරි පියවර ගැනීම වළක්වන ලෙස පෙත්සම්කරු අභීයාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
අදාළ පෙත්සම්කරු මෙරට වෙළඳපොළේ නිෂ්පාදන 400 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන අතර, බොහෝ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි කර ඇති බවයි කියන්නේ.
පෙත්සම්කරු පවසන්නේ සිය සමාගම ලොව පුරා සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට නව්‍ය සහ විශේෂිත ප්‍රතිකාර සපයන ඖෂධ සමාගමක් බවයි. පිළිකා සහ දුර්ලභ රෝග සඳහා උසස් තත්ත්වයේ මොනොක්ලෝනල් ප්‍රතිදේහ මෙන්ම ඉහළ මට්ටමේ ප්‍රතිජීවක, නිර්වින්දන ආශ්වාස, ප්‍රතිදේහ ජනක සහ එනොක්සපරින් වැනි රුධිරය තුනී කරන කාරක සැපයීමට සමාගමේ විශේෂඥතාවයක් දක්වන බවද පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
දුර්ලභ රෝග, රක්තපාත ආබාධ, අක්ෂි, ස්නායු හෘද රෝග, මුත්‍රා ආසාදන (UTI), පිළිකා, ආමාශ ආන්ත්රියක ආබාධ, ඔස්ටියෝ ආතරයිටිස්, ආතරයිටිස්, කොලෙස්ටරෝල් කළමනාකරණය, පෝෂණය සහ මත්ද්‍රව්‍ය ඖෂධ ඇතුළු විවිධ ආකාරයේ වේදනා කළමනාකරණය ඇතුළු තත්වයන් සඳහා පුළුල් ඖෂධ සපයන සමාගමක් බවද එම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
පෙත්සම්කාර සමාගම පසුගිය වසර 14 තුළ මෙරටට Total Parenteral Nutrition (TPN) ඇතුළු ඖෂධ නිෂ්පාදන සැපයීමේ නිරත ව තිබෙන ආයතනක් බවයි කියන්නේ. Total Parenteral Nutrition (TPN) යනු පෝෂ්‍ය පදාර්ථ සෘජුවම රුධිරයට එන්නත් කිරීම සම්බන්ධ විශේෂිත වෛද්‍ය නිෂ්පාදනයක් බව එහි සඳහන් වෙනවා. මෙම සිද්ධියට අදාළ පෙත්සම එළැඹෙන 04 දා අභීයාචනාධිකරණයේ දී කැඳවීමට නියමිත යි.