පුවත්පත් මණ්ඩලයට අලුත් පිරිසක් පත්වෙයි

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කර තිබෙනවා. අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදුකළ බව වාර්තා වෙනවා.

සම්මානලාභී ලේඛකයකු, විචාරකයකු, මාධ්‍යවේදියකු සහ විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු මෙන්ම සිනමා, සාහිත්‍ය සම්මාන උළෙල රැසක ජූරි සභිකයෙකු ලෙසද කටයුතු කළ ප්‍රියාන් ආර් විජේබණ්ඩාර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

ආචාර්ය අනුෂ්කා කහඳගමගේ, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ, මාධ්‍යවේදිනි මහීෂා මුදුගමුව සහ මාධ්‍යවේදී දේවදාසන් සෙන්දිල්වේලවර් යන අයත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස මෙහි දී පත්වීම් ලැබූ බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපතිධූරයට පත් ප්‍රියාන් ආර් විජේබණ්ඩාර කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ විශේෂවේදී උපාධිධරයෙකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය අධ්‍යයනයට අදාළව ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි උසස් ඩිප්ලෝමාව ද (Diploma In Advanced English For Administration And Academic Purposes (DAE) හදාරා ඇති අතර, ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමාව හදරමින් සිටියි. කොළඹ, සබරගමුව හා පේරදෙණිය යන විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මහතා කටයුතු කරනු ලබයි.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති කිහිපයක සන්නිවේදන විශේෂඥවරයෙකු හා පර්යේෂකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු වසර 25 කට ආසන්න කාලයක් මුද්‍රිත හා නව මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇත්තෙකි. සම්මානලාභී ලේඛකයෙකු හා විචාරකයෙකි.

නීතිඥ මහීෂා මුදුගමුව

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස පත්වීම් ලැබූ ආචාර්ය අනුෂ්කා කහඳගමගේ සමාජ විද්‍යාඥවරියක වන අතර,  නවසීලන්තයේ ඔටාගෝ විශ්ව විද්‍යාලයේ සමාජයීය විද්‍යා අධ්‍යයන අංශයෙන් තම ආචාර්ය උපාධිය ලැබූ අයෙක්. ඇය නවදිල්ලියෙහි දකුණු ආසියානු විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ දර්ශන ශුරී උපාධියක් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ උපදේශන කාර්ය සාධක බලකාය, නීතිය සහ සමාජ භාරය, සහ කාන්තා අධ්‍යයන සඳහා වූ මධ්‍යස්ථානයේ  පර්යේෂකවරියක් ලෙස ද, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සහ විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස ඇය ද සේවය කර ඇත.

ආචාර්ය අනුෂ්කා කහඳගමගේ

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දශකයට වැඩි අත්දැකීම් ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ මහීෂා මුදුගමුව මේ වනවිට The Sunday Morning පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරිය ලෙස කටයුතු කරනු ලබයි.

ගවේෂණාත්මක මාධ්‍යකරණය පිළිබඳව මෙන් ම ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබදව ද අධීක්ෂණය කරනු ලබන ඇය මීට පෙර The Island පුවත්පතේ මාධ්‍යවේදිනියක් ලෙස ද කටයුතු කර තිබෙනවා. 2024 දී නීතිඥ මහීෂා මුදුගමුව මාධ්‍යවේදීන් සදහා වූ ඇමරිකා එක්සත් ජනපදයේ International Visitor Leadership Program (IVLP) on the Edward R. Murrow Program for Journalists: Research and Investigation වැඩසටහනට ශ්‍රී ලංකාවෙන් නම් කෙරුනා. ඇය ශ්‍රී ලංකාව, ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ජපානය යන රටවල පුහුණු වැඩසටහන් සඳහා ද සහභාගී වී ඇති අයෙක්.

ඇය සතු ජාත්‍යන්තර අත්දැකීම් අතරට ජපානයේ යොකොහාමා නගර මාධ්‍යවේදී සහයෝගිතා වැඩසටහන (ADB, ජපානය, 2017) සහ ආසියානු මාධ්‍යවේදීයින් සඳහා වූ විදේශ මාධ්‍ය මධ්‍යස්ථානයේ (FPCJ) ශිෂ්‍යත්වය (2015) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ද ඇතුළත් වෙනවා. මෙම ශිෂ්‍යත්ව ඇයට ගෝලීය පාලනය සහ ආපදා කළමනාකරණය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දුන්නේ ය. බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයෙන් (BCIS) ජාත්‍යන්තර සබඳතා පිළිබඳවද ඇය ඩිප්ලෝමාධාරිනියක්.

දේවදාසන් සෙන්දිල්වේලවර්

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්වීම් ලද දේවදාසන් සෙන්දිල්වේලවර් මහතා ලේක්හවුස් හි තිනකරන් දිනපතා සහ තිනකරන් වරමන්ජරි සතිපතා පුවත්පත්වල හී ප්‍රධාන කර්තෘවරයා යි. මීට පෙර දෙවතාවක දී තිනකරන් හී කර්තෘත්වය දැරූ ඔහු දශක තුනක් ඉක්මවූ අත්දැකීම් පිරි මාධ්‍යවේදියෙක්.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන් බාහිර උපාධිය හැදෑරූ ඔහු ඇමරිකාව, ජර්මනිය, හොංකොං, ඉන්දියාව සහ මැලේසියාව යන රටවල ජනමාධ්‍ය පිළිබඳ පුහුණුව ලබා තිබෙනවා. සමස්ත ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති ඔහු ලේඛකයකු හා පරිවර්තකයෙක් ලෙසද කටයුතු කරනවා. මෙරට මෙන්ම විදේශයන්හි ද දෙමළ භාෂිත මාධ්‍යවේදියෙකු ලෙස දේවදාසන් සෙන්දිල්වේලවර් මහතා ඇගයීමට ලක්වූ අයෙක්.

Recent Post