ඉන්දියානු වාහන නිෂ්පාදකයින් ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දියානු වාහන නිෂ්පාදකයන්ගේ සංගමයේ දහඅට දෙනෙකුගෙන් සමන්විත සාමාජික නියෝජිත පිරිසක් පසුගිය 17 සහ 18 දෙදින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. වාණිජ වාහන, මගී වාහන, යතුරු පැදි සහ ත්‍රී රෝද රථ ඇතුළු සියලු වාහනවල ප්‍රමුඛ පෙළේ නිෂ්පාදක සමාගම්වල නියෝජිතයන් මේ පිරිසට අයත් වූ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

දෙදින සංචාරය අතරතුර නියෝජිත පිරිස කර්මාන්ත සහ ව්‍යවාසකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ කර්මාන්ත සහ ව්‍යවාසකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ද හමුවී තිබුණා. මෙයට අමතරව එම පිරිස මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ සාමාජිකයන් ද හමුවුණා.

නියෝජිත පිරිස නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය සත්‍යාංජල් පාණ්ඩේ හමු වී ශ්‍රී ලංකාව තුළ ඉන්දීය වාහන සමාගම්වල මෙහෙයුම් පිළිබඳව ඔහු වෙත කරුණු දක්වා තිබෙනවා. මෙම සංචාරය වාහන ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය සහ සංවර්ධනය ඉහළ නංවමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

Recent Post