දේශබන්දුට ඇප දෙනවාද නැද්ද තීන්දුව අද හවසට

රක්ෂිත බන්ධනාගාරගත කළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේවය අත්හිටුවන ලැබ සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඔහු කළ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව අද පස්වරු 2.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.

අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස නියෝග කළේ අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි.

නියෝගයෙන් පසුව ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ යි.

2023 දෙසැම්බර් 31 වැනි දා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 27 වැනිදා නියෝග කළා.

දින 20ක් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට භාර වුණේ සිය නීතිඥයින් මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින්.

Recent Post