චීන සැලසුම් ලෝකයට බලපාන අයුරු කොළඹ දී පැවති සංවාදය

2025 චීන ජාතික සැසිවාර දෙක පිළිබඳ විද්වත් සංවාදයක් පසුගිය ද කොළඹ දී පවත්වා තිබුණා. එය පවත්වා තිබුණේ චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය, කොළඹ විශ්ව විද්‍යාලය හා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේව මණ්ඩලයේ සහයෝගීත්වයෙන්. චීනය සිය ආර්ථික හා සාමාජීය ඉලක්ක සපුරා ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින අතර සංවර්ධනයේ නව ජයග්‍රහණ ලබා ගැනීමේ අධිෂ්ඨානය හා අදාළ සැලසුම් මෙවර චීන රාජ්‍ය කාරක වාර්තාවේ සදහන්ව තිබූ අතර එම සැලසුම් වත්මන් ලෝකයේ ප්‍රගමනයට ලබා දෙන දායකත්වය සහ එම සැලසුම් තුළින් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි ආදර්ශයන් මෙම සංවාදයේ දී අවධානයට ලක්ව තිබෙනවා.

කථිකාචාර්ය රමිදු පෙරේරා

ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් නීති කමිටු සාමාජික මෙන්ම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ, නීති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා මෙහිදී පැවසුවේ යුගයට ගැලපෙන ප්‍රතිපත්ති ගොඩනැගීමේ දී චීනය ඉදිරියෙන්ම සිටින රටක් බවයි. එම තත්වය ශ්‍රී ලංකාවද ආදර්ශයට ගත යුතු කාලීන අවශ්‍යතාවක් බවයි ඔහු පවසා තිබුණේ.  උපායමාර්ගික සැලසුම්කරණයට රජයේ ඍජු මැදිහත්වීම හරහා චීනය සාර්ථක ජයග්‍රහන රැසක් අත්කර ගෙන ඇතැයිද ඔහු පැවසුවා. චීන ආර්ථිකය ලෝකයට තවදුරටත්  විවෘත කිරීම ලෝකයට ධනාත්මක සංඥාවක් බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරාගේ අදහස වුණා.

වෛද්‍ය ජී.වීරසිංහ

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්, වෛද්‍ය ජී.වීරසිංහ අදහස් දක්වමින් චීනයේ මෙම ජාතික සැසිවාර ක්‍රමවේදය බිම් මට්ටමේ සිට ඉහලටත් ඉහල සිට පහලටත් අදහස් හුවමාරු කරගැනිමේ වැදගත් ක්‍රමවේදයක් බවයි සදහන් කළේ. චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රමුඛ  චීන රජය සියයට 5ක ආර්ථිකය ඉලක්කයක් මෙම වසරේ දී සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළා. එය ලෝක ආර්ථිකය වෙනුවෙන් චීනය දුන් ධනාත්මක සංඥාවක් බවයි ඔහු කියන්නේ. තාක්ෂණික  නවොත්පාදන බිහිකිරිම මෙන්ම ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරු කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය කාර්ය වාර්තාවේ සදහන් කරණු තුළින් නවීන සමාජවාදී සමාජයක් කරා චීනය රැගෙන යන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ශක්තිමත් නායකත්වය බව ඔහු පවසනවා.

මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

චීනයේ ආර්ථික වර්ධනය සහ එහි උපාය මාර්ගයන් ලෝක ආර්ථිකයට වැදගත් වන ආකාරය කොළඹ විශ්ව විද්‍යාලයේ , ආර්ථික විද්‍යා  අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ එහිදී පැහැදිලි කළා. දේශීය ඉල්ලුම ප්‍රසාරණය කරමින් දේශීය ආර්ථිකය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම, අපනයන අංශය දිරිගැන්වීමට අවධානය යොමු කිරීම, තාක්ෂණයට අදාළ  නවෝත්පාදන බිහිකිරීමට රජයේ සහයෝගීත්වය වර්ධනය කිරීම මෙන්ම විදේශීය ආයෝජන අවස්ථා සම්බන්ධ ප්‍රතිපත්ති ලිහිල් කිරීම තුළින් චීනය සිය ප්‍රධාන ආර්ථික ඉලක්කයන් සපුරා ගැනීමට විශාල අවස්ථා නිර්මාණය කිරීමක් ලෙසට දැකිය හැකි බව ඔහු පැවසුවා. චීන ආර්ථික වර්ධනය ලෝක ආර්ථිකයට සෘජුව බලාපාන සාධකයක් බැවින් චීනය අපේක්ෂා කරන මෙම සාර්ථකත්වය ලෝකයට ද ඉතා වැදගත් බව මහාචාර්යවරයා සඳහන් කළා.

මහාචාර්ය ටියුඩර් වීරසිංහ

කොළඹ විශ්ව විද්‍යාලයේ, ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ අදහස් දක්වමින් කියා සිටියේ චීනය ක්‍රියාත්මක කළ සමාජ හා ආර්ථික සංවර්ධනය පිළිබඳ ආකෘතිකමය වෙනස්කම් ඔස්සේ ලෝක ආර්ථිකයේ බලවත් සාධකයක් බවට පත්වීමට හැකිවීම විශේෂත්වයක් බවයි. මෙවර ජාතික සැසිවාරයන් තුළින් මතුවූ කරුණු අධ්‍යයනය ශ්‍රී ලංකාවට ද වැදගත් බව ඔහු පවසා තිබුණා. ඉලක්කගත වැඩපිළිවෙලක් තුළින් අරමුණු සාක්ෂාත් කර ගැනීමේ හරයාත්මක වටිනාකම තමන් ඉන් දකින බවද මහාචාර්ය ටියුඩර් වීරසිංහ සඳහන් කළා. තම රටේ තිබෙන මානව සම්පතේ ගති ස්භාවය අනුව රටක සංවර්ධනයට එය කෙසේ යොදාගත යුතුද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සම්බන්ධයෙන් චීනයෙන් ඉගෙන ගත හැකි දෑ බොහෝ දේ පවතින බවයි ඔහු සඳහන් කළේ.

මහාචාර්ය සමිත හෙට්ටිගේ

චීන අධ්‍යයන පිළිබඳ විශේෂඥ මලයාසියාවේ ක්වාලාලාම්පූර් විශ්විද්‍යාලයේ, මහාචාර්ය සමිත හෙට්ටිගේ මෙම සම්මන්ත්‍රණයේ දී පැවසුවේ චීනයේ නව තාක්ෂණික ගමන් මගේ අභිලාෂයන් මෙවර රාජ්‍ය කාර්ය වාර්තාව තුළින් මනාව දැකිය හැකි බවයි. කෘත්‍රිම බුද්ධිය, හරිත බලශක්තිය ඇතුළු නව නිපැයුම් අංශය වෙනුවෙන් චීනය ප්‍රබල අවධානයක් යොමු කර ඇති අතර එය චීනයේ නවීන ගමනක ආරම්භයක් ලෙසට පෙන්වා දිය හැකි බවයි ඔහු කියා සිටියේ. නවීන තාක්ෂණය තුළ චීනය ලබා ගෙන ඇති වේගවත් ජයග්‍රහන බොහෝ පාර්ශ්වවල ඇගයීමට ලක්ව ඇත්තේ චීනය ස්වයං හැකියාවන් තුළින් එම ජයග්‍රහන ලබා ගෙන තිබීම බවටයි ඔහු අදහස් දැක්වූවේ.

මහාචාර්ය විමල් හේවාමානගේ

කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් අධ්‍යයනාංශයේ හිටපු ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා වන මහාචාර්ය විමල් හේවාමානගේ පැවසුවේ චීනයේ සැලසුම් හුදෙක් චීනයට පමණක් නොව සෙසු රටවලට ද ප්‍රතිලාභ ගෙන දෙන්නක් බවයි. චීනයේ වර්ධනයෙන් සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවලට විශාල අවස්ථාවන් හිමිවන බවද ඔහු සඳහන් කළා. ආර්ථික වශයෙන් පමණක් නොව සංස්කෘතික වශයෙන් ද එමගින් සමීපත්වයක් ගෙන එන අතර බවයි ඔහු කියන්නේ. එක් තීරයක් එක් මාවතක් වැනි වැඩසටහන් තුළින් එය වඩාත් ශක්තිමත් වන බව ද ඔහු පැවසුවා.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක

කොළඹ විශ්ව විද්‍යාලයේ, දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක අදහස් දක්වමින් පැවසුවේ අවිනිශ්චිත ලෝකයට නිශ්චිත බවක් ලබා දීමේ චීනයේ උත්සාහයන් මෙවර  චීන රාජ්‍ය කාරක වාර්තාවේ ඉලක්ක තුළින් දැකිය හැකි බවයි. සැලසුම්ගත බහු පාර්ශ්වික සම්බන්ධතාවල පදනම ලෙස අඛණ්ඩ ක්‍රියා කිරීමේ චීනයේ ස්ථාවරයන් ද විශේෂයෙන් සැලකිල්ලට ලක්විය යුතු බව ඔහු සඳහන් කළා. බහුපාර්ශ්වවාදය විවිධ අභියේගයන්ට ලක්ව ඇති වකවානුවක චීනය එය ආරක්ෂා කිරීමේ ස්ථාවරයෙන් කටයුතු කරමින් සිටින බවයි ඔහුගේ අදහස වන්නේ. චීනය සමස්තයක් ලෙසට දෘෂ්ටිවාදී ආර්ථික රටාවක් තුළින් තාක්ෂණික හා නව්‍යකරණය මූලික කරගෙන ලෝකයේ බලවතා ලෙසට පත්වමින් ඇතැයි ද කොළඹ විශ්ව විද්‍යාලයේ, දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායකගේ අදහස විය.

Recent Post