ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහලේ ගෙවූ නවවන රාත්‍රියත් සාමකාමියි

ඊයේ (23) ඉරිදා උදෑසන, වතිකානු පුවත් කාර්යාලය පැවසුවේ, බ්‍රොන්කයිටීස් රෝගී තත්ත්වය මත පසුගියදා රෝහල්ගත කළ 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පෙනහලු දෙකටම නිව්මෝනියාව පැතිරී ඇති හෙයින් ද්විත්ව නියුමෝනියාව සඳහා ප්‍රතිකාර ලබන රෝමයේ Gemelli Hospital හී නවවන රාත්‍රිය සාමකාමීව ගත කළ බවයි. ඊයේ උදෑසන නැවත වරක් පාප් වහන්සේ වෙත ඔක්සිජන් ලබාදීම නාසික කැනියුලා භාවිතා කළ බව ඔවුන් සඳහන් කරනවා. ඒ අතර අඛණ්ඩව අනෙකුත් සායනික පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි කියන්නේ.

Gemelli රෝහල

Bronchitis රෝගී තත්වය හේතුවෙන් උන්වහන්සේ Gemelli රෝහල වෙත ඇතුලත් කළේ පසුගිය 14 වෙනිදා යි.

සෙනසුරාදා රාත්‍රියේ දී පුවත් කාර්යාලය ශුද්ධෝත්තම පියතුමාගේ තත්ත්වය තවමත් බරපතල බව පැවසුවා. ඊයේ පැහැදිලි කළ පරිදි පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්වය තවමත් අනතුරුදායක තත්වයෙන් මිදී නොමැති බවයි කියන්නේ. ඊයේ උදෑසන, ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඇදුම වැනි දිගුකාලීන තීව්‍රතාවයකින් යුත් ශ්වසන අර්බුදයක් ඇතිව තිබෙනවා. රුධිර පරීක්ෂණවලින් රක්තහීනතාවය හා සම්බන්ධ thrombocytopenia තත්වයක් අනාවරණය වූ බවයි කියන්නේ.

සෙනසුරාදා දිනයට වඩා ඊයේ දිනයේ දී  වඩා ශුද්ධෝත්තම පියතුමා වෙහෙසට පත්ව සිටියද, අවදියෙන් සිටින අතර හාන්සි පුටුවක දවස ගත කළේ බව වාර්තා වෙනවා.

සිකුරාදා පස්වරුවේ රෝමයේ ජෙමෙලි රෝහලේ පැවති මාධ්‍ය හමුවකදී, පාප් වහන්සේ වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය සර්ජියෝ ඇල්ෆියරි (Sergio Alfieri) සහ වතිකානු සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලුයිගි කාබෝන් (Luigi Carbone) පැවසුවේ පාප් වහන්සේ අඩුම තරමින් ඉදිරි සතිය පුරාම ප්‍රතිකාර ලබමින් රෝහල තුළසිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. තවමත් උන්වහන්සේට ජීවිත අනතුරක් ඇතිකරන සුලූ සෞඛ්‍ය පිරිහීමක් නොමැති නමුත් උන්වහන්සේ  සම්පූර්ණයෙන්ම අනතුරුදායක බවින් මිදී නොමැති බවයි.

පාප් වහන්සේ තවමත් ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කර නිසා එහි ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේගේ ශාරීරික චලනයන් සීමිතව තබා ගන්නා බව වෛද්‍ය ඇල්ෆියරි අවධාරණය කළා. ඔහු පැවසුවේ, පාප් වහන්සේ සුපුරුදු පරිදි පුටුවක කෙළින් වාඩි වී වැඩ කරමින් විහිළු කරමින් සිටින බවයි. වෛද්‍යවරයෙකු පාප් වහන්සේට “Hello, Holy Father” යනුවෙන් ආචාර කළ විට, ඔහු “Hello, Holy Son” යනුවෙන් පිළිතුරු දුන් බව වෛද්‍ය සර්ජියෝ ඇල්ෆියරි පවසනවා.

වෛද්‍ය සර්ජියෝ ඇල්ෆියරි සහ වෛද්‍ය ලුයිගි කාබෝන්

පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වෛද්‍යවරුන්ගේ ලොකුම බිය කුමක්දැයි මාධ්‍යවේදියෙකු විමසූ විට, පාප් වහන්සේගේ ශ්වසන පද්ධතියේ ඇති විෂබීජ ඔහුගේ රුධිරයට ඇතුළු වී Sepsis තත්වයක් (ශරීරය ආසාදනයකට නුසුදුසු ලෙස ප්‍රතිචාර දක්වන බරපතල තත්වයක්) ඇති වීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරු සඳහන් කළා.

පවතින තත්වය කෙසේ වෙතත්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යම් අවස්ථාවක දී රෝහලෙන් පිටව ගොස් වතිකානුවේ කැසා සැන්ටා මාර්ටා වෙත නැවත පැමිණෙනු ඇතැයි තමා විශ්වාස කරන බව වෛද්‍ය සර්ජියෝ ඇල්ෆියරි පවසනවා. එසේ වුවත් උන්වහන්සේගේ නිදන්ගත ශ්වසන ගැටලු දිගටම පවතිනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ඔහු කියන්නේ.

මේ අතර තම අවසානය ළඟා වී ඇතැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ළඟම හිතවතුන්ට පැවසූ බවට සමහර මාධ්‍ය වාර්තා පළ වෙනවා. ධුරය දරමින් සිටියදී තමන් වහන්සේ ස්වර්ගස්ථ නොවුන හොත් පාප් පදවියෙන් ඉල්ලා අස්වීමක් වුවද සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ. තම පූර්වප්‍රාප්තිකයා වූ දහසය වැනි බෙනඩික්ට් පාප් වහන්සේ මෙන් තමන්ද ඉල්ලා අස් වීමට ඉඩ තිබෙන බව ප්‍රැන්සිස් පාප් වහන්සේ මීට කලකට පෙර කියා තිබුණා.

Recent Post