වසර 2023 අගභාගයේ සිට හමාස් සංවිධානය සමඟ යුද්ධයක පැටලී ගාසා තීරයේ කුඩා දරුවන් ඇතුළු නිරායුධ පලස්තීනුවන් දහස් සංඛ්‍යාවක් ඝාතනය කරමින් ද, ගාසාව අමු සොහොනක් බවට පත් කරමින් ද සිටින ඊශ්‍රායලය දැවැන්ත ගුවන් ප්‍රහාරයකින් ඉරානයත් කුපිත කර තිබෙනවා. එහි සැබෑ අවශ්‍යතාව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ සිය ආධිපත්‍යය පුළුල් කිරීම විය හැකි බව මැදපෙරදිග දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස යි. ගාසා හී මිනිස් සංහාරයට එරෙහිව ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයෙන් හා යේමනයේ හවුති කැරලිකරුවන්ගෙන් එල්ලවන ප්රහාරවලටත් ප්‍රතිචාර දක්වමින් සිටින ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කරනු ලැබුවේ එරට න්‍යෂ්ටික අවි නිෂ්පාදනය වැළැක්වීමට බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රහාරය ආරම්භ කිරීමෙන් පසු නිවේදනය කළා. එහෙත් ඉරානයට පහර දීමෙන් ඊශ්‍රායලය සිදු කර ඇත්තේ තුන්වැනි ලෝක මහා යුද්ධයකට අතවැනීමක් බවටත් මැදපෙරදිග දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කරනවා.
ඊශ්‍රායලය පවසන ‘Rising Lion’ මෙහෙයුම

ඊශ්‍රායලය විසින් ‘Rising Lion’ නමින් එකිනෙකට වෙනස් ආකාරයේ උපාය මාර්ග දෙකකින් ඉරානයට පහර දීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය 13 වැනිදා මැදියම් රාත්‍රියෙන් මොහොතකට පසුව යි. එම මෙහෙයුම ‘Rising Lion’ හෙවත් ‘සිංහයා අවදි කිරීම’ ලෙස නම් කරනු ලැබුවේ දෙරට අතර ඉරාන විප්ලවයට පෙර පැවති බව කියන සමීප සබඳතා සිහිපත් කරමින් බවයි ඊශ්‍රායලය දෙසින් වාර්තා වන්නේ. ෂා රජ පෙළපත විසින් ඉරානය පාලනය කළ 1907 සහ 1979 අතර දීර්ඝ කාලයේ දී ඉරාන ජාතික ධජයේ සිංහයකු සහ හිරු සංකේතවත් කර තිබූ බවත්, ඉරාන ඉතිහාසය හා මිථ්‍යා කතා මුල්බැසගත් එම සංකේත සහිත ජාතික ධජය විප්ලවයෙන් පසු ඉවත් කළ බවත් කියවෙනවා. ‘සිංහයා අවදි කිරීමේ’ මෙහෙයුම ක්‍රියාත්මක වූයේ දෙයාකාරයකින්. ඉන් පළමුවැන්න වූයේ ඊශ්‍රායල කොමාන්ඩෝ භටයන් විසින් මාස ගණනාවකට පෙර ඉරානය තුළ ස්ථානගත කර තැබූ බව කියන කුඩා පුපුරන ද්‍රව්‍ය ඇතුළත් ඩ්‍රෝන තොගයක් මුදා හැරීම යි. ඒවා ඉරානයේ ටෙහෙරාන් අගනුවර බටහිර ප්‍රදේශයේ පිහිටි ගුවන් ආරක්ෂණ රේඩාර් සහ සන්නිවේදන පද්ධතිවලට පහර දෙමින් ඉරාන ආරක්ෂක ප්‍රධානීන්ගේ අවධානය එදෙසට යොමු කළා. ඊට මිනිත්තු කිහිපයකට පසු ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා 200කට අධික ප්‍රමාණයක් ඉරානය පුරා පිහිටි න්‍යෂ්ටික සහ හමුදා ඉලක්ක 100කට වැඩි ස්ථාන වෙත මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළා. සිය හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත එල්ල වන ප්‍රහාර වේලාසනින් හඳුනා ගැනීමට සහ වළක්වාලීමට ඉරානයට නොහැකි වූයේ ඊශ්‍රායලය පළමුව සිදු කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් එරට ආරක්ෂක සන්නිවේදන පද්ධතිය විනාශ වීම හේතුවෙන් බවයි එරට පිළිබඳව වන මාධ්‍ය වාර්තා පවසන්නේ. ඉරානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් රැසක් ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වීමට ද එය හේතුවක් වුණා. එම ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයන් 9 දෙනකුත් ජීවිතක්ෂයට පත්වූ බව ඉරානය තහවුරු කළා.
ඉරානයේ ආන්දෝලනාත්මක න්‍යෂ්ටික අවි නිෂ්පාදනය වැළැක්වීමට වැඩිම අවශ්‍යතාව ඇත්තේ ඊශ්‍රායලයට නොව අමෙරිකාඑක්සත් ජනපද කඳවුරට බව ප්‍රකට කරුණක්. ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ඉරානයට ඇරියුම් කර තිබූ අතර, අමෙරිකාව සමඟ ගිවිසුම්ගත වන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටි බවත් ද වාර්තා වෙනවා. ඉරානයට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාරය ආරම්භ වන්නේ එවැනි පසුබිමක දී බැවින් ප්‍රහාරය පසුපස අමෙරිකාව සිටින බවට පළවන ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු ඉවත දැමීමට ද නොහැකියි. එය කෙසේ වුවත් දශක දෙකකට ආසන්න කාලයක් පැවැති දෙරට අතර පැවැති සතුරුකම් මේ ප්‍රහාරයත් සමඟ සක්‍රිය යුද ගැටුමක් බවට පත්වී තිබෙනවා. ප්‍රහාරයට දිනකට පෙර එවැනි ප්‍රහාරයක් පිළිබඳ ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබූ අතර, මැදපෙරදිග කලාපය දරුණු යුද බිමක් බවට පත්විය හැකි බවට එම කලාපයේ සිටින සිය පුරවැසියන්ට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබූ බවට ද මාධ්‍ය වාර්තා පළ වුණා.
යුද්ධය දිගුකාලීන බවට ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලයේ පැවැත්ම සහ ඉරානයේ තර්ජන මැඬ පැවැත්වීම ඉලක්ක කරගත් මිලිටරි මෙහෙයුමක් බව හුවා දක්වමින් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිදු කළ ප්‍රකාශය ජාත්‍යන්තර අවධානයට ලක්වී තිබෙනවා. ඉරාන තර්ජනය තුරන් වනතුරු යුද්ධය පවතින බවට ඔහු විසින් පළ කරනු ලැබූ අනාවැකිය මැදපෙරදිග ස්ථාවරත්වය අවදානමට ලක් කර ඇති අතර, කලාපයේ මෙන්ම ජාත්‍යන්තර ආර්ථිකයට ද බලපෑම් එල්ල වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් පවසනවා. ඒ බව සනාථ කරමින් දැනටමත් බ්‍රෙන්ට් බොරතෙල් මිල 10% කින් ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය ජනවාරියෙන් පසු එවැනි ඉහළ යෑමක් පෙන්නුම් කළ පළමු අවස්ථාව යි. ඉදිරි දින කිහිපයේ දී එය තවදුරටත් ඉහළ යනු ඇතැයි ද අනාවැකි පළවෙනවා. බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ලොව පුරා ඉන්ධන මිල ඉහළ යෑමට සහ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑමට ද හේතු වෙයි.
ඉරාන – ඊශ්‍රායල රහසිගත සබඳතා
ඊශ්‍රායලය සහ ඉරානය ජාත්‍යන්තර දේශපාලනයේ වඩාත්ම දරුණු පසමිතුරන් බවට පත්වී සිටිත් එම සතුරුකම 1979 ඉරාන විප්ලවයට පෙර පැවැතියේ රහසිගත සහයෝගීතාව හා උපායමාර්ගික සන්ධානගතවීමක් ලෙසට යි. 1948 වසරේ දී ඊශ්‍රායල රජය පිහිටුවා ගැනීමෙන් පසු බොහෝ මුස්ලිම් රටවල් එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරද්දී දිගු කාලයක් පුරා සුන්නි නිකායට අයත් මුස්ලිම් රටවල් සමඟ ආගමික විරසකයක පැටලී සිටි ෂියා නිකායික ඉරානය රහසිගතව ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා ශක්තිමත් කරගත්තා. එවකට ෂා රජ පෙළපතේ පාලනය යටතේ පැවැති ඉරානයේ අරාබි – ඊශ්‍රායල සීතල යුද්ධය අතරතුර අනුගමනය කරනු ලැබුවේ ද බටහිරවාදී ප්‍රතිපත්තියක්. ඉරානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට ඊශ්‍රායලය රහසින් ආධාර කළ අතර, 1967 දී සිදුවූ දින හයේ යුද්ධයෙන් පසු අරාබි රටවල් රැසක් තෙල් වර්ජනයක නිරතව සිටිය දී ඊශ්‍රායලයට බොරතෙල් සැපයුවේ ඉරානය යි. ඒ වෙනුවෙන් ඊශ්‍රායලයෙන් ඉරානයට කෘෂිකාර්මික තාක්ෂණය ලබා දුන්නා. එපමණක් නොව ඉරානය එවකට අමෙරිකාවේද සමීපතම හිතවතකු බවට පත්වී සිටියා. මේ සියල්ල වෙනස් වූයේ 1979 ඉරාන විප්ලවයෙන් පසුවයි. එය ඊශ්‍රායල – ඉරාන සියලු ආකාරයෙන් පැවැති රහසිගත හා ප්‍රසිද්ධ සබඳතා බිඳ වැටීමට හේතුවූ අතර, ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි යටතේ බිහිවූ ඉරාන ඉස්ලාමීය ජනරජය එරට විදේශ ප්‍රතිපත්තිය උඩුයටිකුරු කළා. එම පාලනය යටතේ ඊශ්‍රායලය සලකනු ලැබුවේ දේශපාලන විරුද්ධවාදියකු ලෙස පමණක් නොවුවා. පලස්තීනය වෙනුවෙන් පෙනී සිටි ඉරානයට අනුව ඊශ්‍රායලය ‘අවජාතක රාජ්‍යයක් (An illegitimate state)’ විය.
හමාස් සංවිධානයට එරෙහිව බව කියමින් ගාසා තීරයේ පලස්තීනුවන් දහස් සංඛ්‍යාවක් ඉතා ම්ලේච්ඡ ආකාරයෙන් ඝාතනය කරමින්ද, මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් ද ඊශ්‍රායලය මේ සිදු කරන්නේ සිය භූමියේ වපසරිය පුළුල් කරගැනීම පමණක් නොව අරාබි මුස්ලිම්වරුන්ගෙන් පළිගැනීමක් බවයි ලොව පුරා බොහෝ දෙනාගේ අදහස වන්නේ. අයතුල්ලා කුමේනිගේ සහ එරට නව ඉස්ලාමීය දෘෂ්ටිවාදයට අනුව පීඩිත ජනකොටසක් බවට පත්වී සිටින පලස්තීනුවන්ට සහාය දැක්වීමට ප්‍රමුඛතාව ලබාදෙන අතර, ඊශ්‍රායලයේ පැවැත්මට ඔවුන් දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. ෂා රජ පෙළපත බිඳ වැටීමෙන් පසු ටෙහෙරාන් අගනුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයේ සියලු නිලධාරීන් නෙරපා දැමූ කුමේනි එම කාර්යාලය පලස්තීන විමුක්ති සංවිධානයට බාර දුන්න්නේ ඊශ්‍රායලය සමඟ සියලු රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳ දමමින්.
ඉරානයේ ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් 4ක් මරුට
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර, බැලැස්ටික් මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථාන සහ හමුදා අණදෙන කාර්යාල ගොඩනැඟිලි ඉලක්ක කරමින් ඊශ්‍රායලය වෙතින් ජුනි 13 වෙනිදා එල්ල වූ ප්‍රහාරයෙන් එරට ඉහළම හමුදා නිලධාරියා වන ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානී මේජර් හුසේන් සලාමි, එරට ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් මොහොමඩ් බගේරි, ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කුමේනිගේ සමීපතමයකු වන හිටපු ආරක්ෂක ඇමැති අලි ෂම්කානි සහ ඉරාන විප්ලවීය ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරාල් අමීර් අලි හජිසාදේ ජීවිතක්ෂයට පත්වූ බව තහවුරු වී තිබෙනවා. ගුවන් ප්‍රහාරමාලාවෙන් දරුවන් ඇතුළු සිවිල් වැසියන් ද මියගිය බවට ඉරාන රජයේ රූපවාහිනිය නිවේදනය කළත්මේ දක්වා එම සංඛ්‍යාව හෙළි කර නැහැ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු අඟවීම
ඊශ්‍රායලයෙන් එල්ල වූ පළමු ගුවන් ප්‍රහාරයෙන් පසු ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කර තිබූ අතර, එම ප්‍රහාරයට අමෙරිකාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහි සඳහන් වුණේ. ඉන් අනතුරුව ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා ඇත්තේ න්‍යෂ්ටික ගිවිසුමට වහාම එක්වන ලෙසයි. නොඑසේ නම් ඊශ්‍රායලයෙන් වඩාත් දරුණු ප්‍රහාර එල්ල වනු ඇතැයි ඔහු සඳහන් කර තිබූ බව වාර්තා වුණා. ඊශ්‍රායල ප්‍රහාරය පසුපස අමෙරිකාව සිටින බවට චෝදනා කිරීමට ඉරානයට එම ප්‍රකාශය ප්‍රමාණවත් වූ අතර, ධවල මන්දිරය එය ප්‍රතික්ෂේප කළ බවයි පවසන්නේ.
ගාසා තීරයේ නිරායුධ සිවිල් වැසියන් දහස් සංඛ්‍යාවක් ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වෙද්දී මැදිහත් රටවල් විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබූ ගාසා තීරයේ සටන් විරාම යෝජනාව සිය නිෂේධ බලය යොදා ප්‍රතික්ෂේප කළ අමෙරිකාව සිය සමීපතම මිතුරා වන ඊශ්‍රායලය වෙතින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය සාධාරණීය කිරීමට පෙළඹී සිටීම විමතියට කරුණක් නොවන බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරනවා.
ඊශ්‍රායලයට ඉරානයෙන් බැලැස්ටික් මිසයිල වැස්සක්

හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් Honest Promise – 3 නමින් ඉරානය සිදු කළ මිසයිල ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් හා ජෙරුසලම් නගරවලට දැඩි හානි සිදුවූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා. ඊට ප්‍රතිචාර වශයෙන් යළි යළිත් දෙපාර්ශ්වය අතර හුවමාරු වූ මිසයිල ප්‍රහාරවලින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර මෙන්ම ඊශ්‍රායලයේ ජෙරුසලමේ නුවර ද ඉන්ධන මධ්‍යස්ථාන විනාශ වී ඇතැයි වාර්තා පවසනවා.
තමන් වෙත ඉරානයෙන් එල්ල කරන ප්‍රහාර නොනවත්වන්නේ නම් ඊට දක්වන ප්‍රතිචාර දරුණු වනු ඇතැයි ඊශ්‍රාලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇති අතර, ඊශ්‍රායලය යුද මෙහෙයුම් නිමාවට පත් නොකරන්නේ නම් වඩාත් දරුණු ප්‍රහාර එල්ල කරන බවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ද අනතුරු අඟවා තිබෙනවා.
තුන්වැනි දිනයේදී දෙරට අතර දරුණු සටන්

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් ඊයේ (15) තුන්වැනි දිනයටත් ව්‍යාප්ත වී ඇති අතර, ඉරානයේ මෙන්ම ඊශ්‍රායලයේ නගර පුරා වරින්වර සයිරන් හඬ පැතිරී ගිය බව වාර්තා වෙනවා. ඉරාන මිසයිල ප්‍රහාර රැසක්ම ඊශ්‍රායල් Iron Dome ආරක්ෂණ පද්ධතිය මඟින් වැළැක්වීමට සමත්වූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළත්, මිසයිල රැසකින් ජෙරුසලම් සහ ටෙල් අවීව් නුවර ගොඩනැඟිලි විනාශ වී තිබෙන ඡායාරුප සහ වීඩියෝ දර්ශන සාක්ෂි දරනවා. යුද ගැටුම් ආරම්භ වීමෙන් මේ දක්වා කිසිදු පාර්ශ්වයක් පියවරක් පසුපසට ගැනීම ප්‍රතික්ෂේප කරමින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
දින දෙකකදී ඉරානයේ 80ක් මරුට
යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ගතවූ දෙදින තුළ ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයේ පුද්ගලයන් 80 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 800කට අධික බව වාර්තා වෙයි. ඒ අතර දරුවන් 20 දෙනකු සිටින බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත්, එරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුන්වැනි දිනයටත් වසා දැමුණු බවත් වාර්තා වෙනවා. හමුදා සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිහිටි ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙස ටෙහෙරාන් නුවර ජනතාවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වෙනවා.
මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ් විසින් අද (16) දිනමිණ පුවත්පත වෙත ලියු ලිපියක් ඇසුරින්
#A5 #a5news #A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews