සමාගම් සතු තේ ඉඩම් නඩත්තු නොකිරීම හා පැරණි තේ ඉඩම්වල ඵලදායීතාව බිඳ වැටීම හේතුවෙන් අලුතින් තේ වගා බිම් ඇති කර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට වැසි වනාන්තර ශීඝ්‍රයෙන් එළිපෙහෙළි කරමින් තේ වගා බිම් ව්‍යාප්ත කරමින් තිබේ. මේ හේතුවෙන් උද්ගත වී ඇති ගැටළු මැඩපැවැත්වීමට ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෝස්ටර් දෙකක් නිර්මාණය කර ඇත. කෘෂි වන වගාවේ සංකල්ප හා පාරිසරික ගොවිතැනේ සංකල්ප පදනම් කර ගෙන තේ වගා බිම් බහු බෝග වගා බිම් බවට පරිවර්තනය කර තේ ගොවීන් ගේ ආර්ථිකය හා සමාජයීය තත්ත්වය වර්ධනය කර ගත හැකි බවයි ඔවුන් පවසන්නේ. එපමණක් නොව ආහාර ස්වෛරීභාවය තහවුරු කිරීම හා මිනිසා ඇතුළු සියලූ ම ජීවීන්ට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට මේ තුළින් උත්සාහ දැරූ බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර සඳහන් කරනවා.

මේ පිළිබඳව සජීව චාමිකර පළකළ ලිපියක් පහත පළවේ.
“කෘෂි වන වගාවේ සංකල්ප හා පාරිසරික ගොවිතැනේ සංකල්ප සඳහා පදනම සකස් වූයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණ අධ්‍යයනය කළ පසු ව ය. එම සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3%ක් නැතහොත් තෙත් කලාපයේ මුළු භූමි ප්‍රමාණයෙන් 13% ක් පමණ වේ. එය මුළු ලෝකයේ ම වැසි වනාන්තර වැස්මෙන් 0.011% කි.

මෙරට ආකාර තුනකින් යුත් වැසි වනාන්තර අතුරෙන් පහතරට වැසි වනාන්තර හෙක්ටයාර 1,23,302ක් (1.9%ක්), උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 28,513ක් (0.4%ක්) හා ඉහළ කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 44,758ක් (0.7%ක්) පමණ ඉතිරි වී තිබේ. මෙම සංඛ්‍යා ලේඛණ මීට වසර 15 කට පෙර මෙරට වැසි වනාන්තරවල තත්ත්වය වන අතර අද වන විට තේ වගා බිම් ව්‍යාප්ත කිරීමට සැලකිය යුතු වැසි වනාන්තර ප්‍රමාණයක් ඉවත් කර තිබීම නිසා මෙම වනාන්තරවල ප්‍රමාණය තවත් අඩු වී තිබේ.
මේ ආකාරයෙන් වැසි වනාන්තර එළි පෙහෙළි කිරීම නිසා වැඩිම වර්ෂාපතනයක් ලැබෙන තෙත් කලාපයේ වර්ෂාව පොළොවට ඇද ගන්නා යාන්ත්‍රණය හා වැසි ජලය රඳවා ගන්නා ජල පෝෂක බිම් අහිමිවීම සහ වැසි වනාන්තර තුළ ජීවත්වන සීමිත ව්‍යාප්තියක් ඇති ඉතා ම දුර්ලභ ජීවී විශේෂවල පැවැත්මට දරුණු බලපෑම් එල්ල වීම සිදු ව තිබේ.
නමුත් ලංකාවේ ඉතිරි වී ඇති ඉතා ම ස්වල්පයක් වන වැසි වනාන්තර තුළ මෙරටට ආවේණික ජීවී විශේෂ අතුරෙන් 90%ක් පමණ ජීවත් වේ. ඊට අමතර ව වඳවීමේ තර්ජනයට දරුණු ලෙස ලක් වී ඇති ජීවී විශේෂ අතුරෙන් 99%ක් ම වාර්තා වන්නේ මෙම වැසි වනාන්තර තුළ ය.

මේ ආකාරයෙන් වැසි වනාන්තර විනාශය වර්ධනය වන්නේ වර්ෂ 1867 දී ජේම්ස් ටේලර් විසින් නුවර, ලූල්කඳුර ප්‍රදේශයේ හෙක්ටයාර 8ක භූමි ප්‍රදේශයක පළමුව තේ වගාව ආරම්භ කිරීමත් සමඟ ය. එතැන් සිට අද වන විට තේ වගාව කඳුකරයේ හා පහතරට තෙත් කලාපයේ හෙක්ටයාර 221,969ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබේ. 1867 වසරේ දී හෙක්ටයාර 8කින් ආරම්භ වූ තේ වගාව අද වන විට මෙතරම් භූමි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට නොයිඳුල් කඳුකර, උප කඳුකර හා පහතරට තෙත් කලාපීය වනාන්තර සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. අද වන විට තවදුරටත් කඳුකර වනාන්තර හා පහතරට තෙත් වනාන්තර එළිපෙහෙළි කරමින් අඛණ්ඩව තේ වගාව ව්‍යාප්ත කරමින් පැවතීමට ප්‍රධාන හේතුව තේ සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලුම ය. ඒ හේතුවෙන් මේ වන විට රක්ෂිත වනාන්තර පවා නීති වීරෝධී ව එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කෙරේ.

වැසි වනාන්තර එළි කරමින් ඇති කරන තේ වගා බිම් හරිත පැහැ කාන්තාර (Green Desert) වැනි ය. එහි ජීවී විවිධත්වය ඉතා ම පහළ අගයක පවතී. තේ වගා බිම්වලට භාවිත කරන අධික කෘෂි රසායනික හේතුවෙන් හා ශාක ස්ථර නොමැති වීමෙන් මෙම වගා බිම් ජීවී විවිධත්වයෙන් අඩු කාන්තාර තත්ත්වයට පරිවර්තනය වේ. මේ නිසා හරිත පැහැයෙන් යුත් තේ වගා බිම් හරිත කාන්තාර ලෙස හැදින්විය හැකි ය.
මේ නිසා වනාන්තර පද්ධති ආශ්‍රිත ව තේ වගා බිම් ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හුදෙකලා වූ වනාන්තර කුට්ටි ඇති වන අතර එම වනාන්තර කුට්ටි අතර තේ වගා බිම් තුළින් බොහෝ ජීවීන් ගමන් නොකරයි. මේ නිසා ජීවී ගහනයන් වනාන්තර කුට්ටි තුළ හුදෙකලා කිරීමට ද තේ වගා බිම් හේතු වේ.
මේ සඳහා ප්‍රධාන වශයෙන් ම දායකවන්නේ වතු සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට අයත් විශාල තේ වගා බිම් ය. සුළු පරිමාණ තේ වගා බිම් පවත්වාගෙන යන බොහෝ ග්‍රාමීය ජනතාව බහු බෝග වගා බිමක් ලෙස තේ වගා බිම් පවත්වා ගෙන යනු ලැබේ. ග්‍රාමීය ජනතාවගේ තේ වගා බිම් තුළ හා ඒ වටා බොහෝ ශාක විශේෂ වගා කරනු ලැබේ. කුරුදු, කෝපි, ගම්මිරිස්, එනසාල්, කරාබුනැටි, පුවක්, පොල්, වල්ලපට්ටා හෙවත් අගාව්‍රඩ් වැනි වාණිජමය භෝගවලට අමතර ව කොස්, දෙල්, කරපිංච, ගොරකා, කටුඅනෝදා, කෙසෙල්, දූරියන් වැනි ශාක විශේෂ මෙන්ම එළවලු හා පළා වර්ග බොහොමයක් වගා කෙරේ.
ඊට හේතුව ග්‍රාමීය ජනතාව ගේ කුඩා වගා බිමකින් උපරිම ඵලදායීතාවය ලබා ගැනීමට හා විවිධ ආදායම් මාර්ග විවෘත කර ගැනීමට මෙන් ම ආහාර ස්වෛරීභාවය ඇති කර ගැනීම සඳහා ය. නමුත් තේ වගා බිම් පවත්වා ගෙන යන වතු සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙවැනි වගා බිම් පවත්වා ගෙන යාමට අවශ්‍ය නැත. එපමණක් නොව තේ පර්යේෂණායතනය විසින් නිර්දේශ කරන්නේ ද ඒක බෝග වගාවක් ලෙස තේ වගා බිම් ඇති කිරීම ය.

මේ නිසා තේ වගා බිම් පාරිසරික ගොවිතැනේ සංකල්ප හා කෘෂි වන වගාවේ සංකල්ප මත පදනම් ව ගොඩනැගීම තුළින් භූමියේ ඵලදායීතාව වැඩි කර ගැනීමෙන් ජීවී පද්ධතියක් බවට පත් කළ හැකිය. එවිට තේ වගා බිම්වලින් ආදායම් උත්පාදන මාර්ග බොහොමයක් විවෘතවීම, ආහාර අවශ්‍යතාව සැපිරීම, පාංශු ඛාදනය අවමවීම, බාහිර යෙදවුම් සඳහා යන පිරිවැය අවම වීම තුළින් වැඩි ලාභයක් ලබාගත හැකිවීම, ජල සුරක්ෂිතතාව ඇතිවීම, වනාන්තර කුට්ටි ජාල ගතවීම තුළින් වනාන්තර පද්ධති ඇතිවීම, කාලගුණික හා දේශගුණික විපර්යාස වලින් ඇති වන බලපෑම් සහ ආපදා තත්ත්වයන් අවමවීම වැනි ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි ය.
එපමණක් නොව හරිත කාන්තාර තත්ත්වයේ පැවති තේ වගා බිම් ස්වභාවීකරණයට ලක්වීම තුළින් බොහෝ ජීවීන්ගේ පැවැත්ම තහවුරුවීම ද සිදු වනු ඇත. මේ සියලූ ම ප්‍රතිලාභ තුළින් එකම වගා බිමක් තුළ විවිධ ආදායම් උත්පාදන මාර්ග ගොවීන්ට විවරවීම හේතුවෙන් තවදුරටත් වනාන්තර එළි කරමින් සිදුකරන තේ වගා බිම් ව්‍යාප්ත කිරීම නතර කළ හැකිය. ඒ සඳහා වන ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජයට බලපෑම් කළ යුතුය. ඒ තුළින් තේ වගා බිම්වල වහල් කම්කරු සේවය වෙනුවට සුළු පරිමාණ නිෂ්පාදකයෙක් බිහි කළ යුතුය”
