හය වසරකට පස්සේ ආයෙමත් රැස්වෙන ජාතික දේශසීමා කළමනාකරණ කමිටුව

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, සංක්‍රමණීකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration – IOM) සහ ඔස්ට්‍රේලියානු හා කැනඩා රජයේ අනුග්‍රහයෙන් මීට දශකයකට පමණ ඉහතදී හඳුන්වාදෙන ලද සමෝධානික දේශසීමා ආරක්‍ෂණ මූලෝපාය (Integrated Border Management Strategy) එවකට දේශසීමා හරහා මෙරටට ඇතුළු වූ විවිධාකාරයේ තර්ජන සඳහා විසඳුම් යෝජනා කර තිබුණා. ඒ ශ්‍රී ලංකාවේ දේශසීමා ආරක්‍ෂණය තහවුරු කිරීම උදෙසා යි. එහිදී නීතීවිරෝධීව වෙනත් රටවලට සංක්‍රමණය වීමේ ගැටලුව ප්‍රධාන වශයෙන් සළකා බැලීය. එම මූලෝපාය අනුව මෙරට දේශසීමා ආරක්‍ෂණය පිළිබඳව ප්‍රතිපත්ති සහ මූලෝපායන් සබැඳි තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ‘ජාතික දේශසීමා කළමනාකරණ කමිටුව (National Border Management Committee – NBMC)’ නමින් කමිටුවක් ආරක්‍ෂක ලේකම්වරයාගේ නායකත්වය යටතේ ආරම්භ කර ඇත. එම කමිටුව එතැන් පටන් මේ වන විට සැසි වාර 8ක් ද පවත්වා තිබෙනවා.

එහෙත්, 2021 වසරින් පසුව එම කමිටුව නැවතත් රැස්වී නැහැ. සමෝධානික දේශසීමා ආරක්‍ෂණ මූලෝපාය යටතේ යෝජනා කොට ක්‍රියාවට නංවන ලද ප්‍රත්‍යන්ත අවධානම් ඇගයීමේ මධ්‍යස්ථානය (Border Risk Assessment Centre) පමණක් මේ වන විට ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාකාරී මට්ටමේ පවතී.

“වර්තමානය වන විට ශ්‍රී ලංකාව, කලාපය මෙන්ම ලෝකය තුළ ද වර්ධනය භූ දේශපාලන සහ ආරක්‍ෂක තත්වයන් පිළිබඳව හා විධිමත් දේශසීමා ආරක්‍ෂණයෙහි ඇති වැදගත්කම පිළිබඳව සළකා බලා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ මඟපෙන්වීම යටතේ වසර ගණනාවක් අකර්මණ්‍ය මට්ටමේ පැවති ජාතික දේශසීමා කළමනාකරණ කමිටුවේ (NBMC) නව වැනි සැසි වාරය 2025 මැයි මස 30 වන දින ආරක්‍ෂක අමාත්‍යංශයේ දී පවත්වන ලදි. විදේශ අමාත්‍යංශය, මහජන ආරක්‍ෂක අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්‌තමේන්තුව, සිවිල් ගුවන්සේවා අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව ඇතුළු දේශසීමා සම්බන්ධ ක්‍රියාත්මක වන ආයතන මෙන්ම දේශසීමා ආරක්‍ෂණය සඳහා දායක වන නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, වෙරළ ආරක්‍ෂක බළකාය ඇතුළු සියළුම ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිළධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාවූ අතර එහිදී වැදගත් තීරණ සහ එකඟතාවයක් රැසකට එළඹෙන ලදි.

රටතුළ සිදුවන ආර්ථික සංවර්ධනය තුළින් එය සංවර්වධන ඉලක්ක කරා ගෙනයෑම සඳහා ජාතික ආරක්‍ෂාව ශක්තිමත්ව පවත්වාගැනීමේ ඇති වැදගත්කම මෙන්ම සංචාරක කර්‌මාන්තය, විදේශ ආයෝජකයන් මෙරටට ආකර්ෂණය කරගැනීම සඳහා ද ජාතික ආරක්‍ෂාවේ ඇති දායකත්වය ආරක්‍ෂක ලේකම්වරයා විසින් පැහැදිලි කරන ලද අතර, එහිදී ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛ මූලිකාංගයක් ලෙස දේශසීමා ආරක්‍ෂණය සඳහා සෑම ආයතනයක් කෙරෙහිම ඇති වගකීම පිළිබඳව ද ආරක්‍ෂක ලේකම්වරයා විසින් අවධාරණය කරන ලදි. මෑතකදී ඇතිවූ නව ප්‍රවණතාවයන් වන නීති විරෝධී විදේශීය සංක්‍රමිකයන්, දේශසීමා හරහා සිදුවන මිනිස්, මත්ද්‍රව්‍ය සහ වෙනත් තහනම් භාණ්ඩ ජාවාරම්, අන්තවාදී, ත්‍රස්තවාදීන්ගේ ආගමනයන්/විගමනයන් මෙන්ම මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් නීතියේ දැලට හසු නොවී පළායෑම් තුළින් මෙරට ජාතික ආරක්‍ෂාවට ඇතිවන තර්ජනයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, එම තත්ත්වයන් කඩිනමින් මැඩපැවැත්වීමට රජයට ඇති අවශ්‍යතාව ආරක්‍ෂක ලේකම්වරයා විසින් අවධාරණය කරන ලදි. තවද, කලාපීය මෙන්ම ජත්‍යන්තර වශයෙන්, දේශසීමා ආරක්‍ෂණය පිළිබඳව ශ්‍රී ලංකාව රටක් වශයෙන් ජාත්‍යන්තර සම්මුති සහ ප්‍රඥප්තීන්ට අනුව බැඳී සිටින බවද අවධාරණය කරන ලදි.

මෙරට දේශසීමා ආරක්‍ෂණය සඳහා ඔස්ට්‍රේලියානු රජය, කැනඩා රජය මෙන්ම IOM ආයතනය විසින් දක්වන ලද සහයෝගය ද ඇගයීමට ලක්කර ස්තූතිවන්ත වූ ආරක්‍ෂක ලේකම්වරයා ඉදිරියේ දී ද දේශසීමා ආරක්‍ෂණය සඳහා ඔවුන්ගේ සහය අපේක්‍ෂා කරන බව ප්‍රකාශ කර සිටින ලදි. වසර ගණනාවක් අකර්මන්‍ය මට්ටමේ පැවති ජාතික දේශසීමා කළමනාකරණ කමිටුව (NBMC) නැවතත් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව අමාත්‍යංශ කාර්‌යමණ්ඩලයට මෙන්ම සහභාගි වූ සියළුම නිළධාරින්ට ස්තුතිවන්ත වූ අතර, මෙම ක්‍රියාවලිය මූලෝපායික වශයෙන් සැළසුම් වූ පරිදි කාලීන තර්ජන හා අවශ්‍යතා අනුව හැඩගැසෙමින් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට උපදෙස් ලබා දෙන ලදි” යි මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

Recent Post