මුලතිව් හී චන්ද්‍රන් නගර් ජනතා අයිතියට

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් මුලතිව් හි චන්ද්‍රන් නගර් ආදර්ශ ගම්මානය පසුගිය දා විවෘත කර තිබුණා. ඒ ප්‍රතිලාභී පවුල් විසි හතරක් සඳහා යි. උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සෙල්ලතම්බි තිලකානාදන් සමඟ මුලතිව් දිස්ත්‍රික් ලේකම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මුලතිව් දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

උතුරු පළාතේ ජීවනෝපාය මාර්ගයන් ඉහළ නැංවීම සහ ප්‍රජාවන්ගේ සංවර්ධනය සඳහා සහයෝගය ලබා දීම ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහය වීම සඳහා ඉන්දියාවේ දැඩි කැපවීම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මෙහිදී අවධාරණය කළා. අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ නිවාස සංවර්ධනය ඇතුළු ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්තුතිය පළ කරන බවයි.

චන්ද්‍රන් නගර් වැනි වූ ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තැබුවේ 2017 ඔක්තෝබර් මාසයේ දී යි. මෙම ව්‍යාපෘතිය යටතේ පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇති. ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය මීට පෙර 2025 මැයි 25 වන දින විවෘත කරන ලදී. දිස්ත්‍රික්ක 13ක ඉදි කළ ආදර්ශ ගම්මාන ප්‍රතිලාභීන් වෙත භාර දී ඇත. ව්‍යාපෘතියේ සමස්ත ප්‍රගතිය 97% ඉක්මවන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභීන් වෙත භාර දීමට නියමිත බවයි මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ.

Recent Post