කලාපීයවාදය ඉතා වැදගත් – රනිල් වික්‍රමසිංහ

ඉන්දීය සාගර කලාපයේ සංවර්ධනය සහ කාශ්මීරයේ ත්‍රස්තවාදයට පිළියම් යෙදීම එකවර ප්‍රගතියට පත් විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ දී පවසා තිබෙනවා. ඔහු ඒ බව පවසා ඇත්තේ ‘ද හින්දු’ පුවත්පතේ පස් වැනි සංස්කරණයට අදාළව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි පැවැත්වෙන උත්සවයකට එක්වෙමින්. මෙම උත්සවයට කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සිද්ධරාමණී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර දේශපාලන, ව්‍යාපාර, ශාස්ත්‍රීය, ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍රවල නියෝජිතයින්ද එක්ව සිටි බව වාර්තා වෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඉන්දීය නිත්‍ය නියෝජිත ටී.එස්. තිරුමූර්ති සහ ද හින්දු පුවත්පතේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කර්තෘ සුහසිනි හයිදාර් එක්වූ සාකච්ච්හාවකයි හිටපු ජනාධිපතිවරයා සිය අදහස් දක්වා තිබුණේ.

නැගී එන ලෝක තත්වයන් තුළ කලාපීයවාදය (regionalism) වැදගත් වනු ඇති බව පවසා ඇති හිටපු ජනාධිපතිවරයා  පවත්වා ගනිමින්, දකුණු ආසියාව “වඩාත්ම බලවත් කලාපය” ලෙස මතුවීම සහතික කිරීම සඳහා ඉන්දියාව පෙරමුණ ගැනීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.

උප මහද්වීපික භූ දේශපාලනය හැඩගස්වන නව බලවේග (The new forces shaping subcontinental geopolitics)’ යන මාතෘකාව යටතේ යි මෙම සැසිය පවත්වා තිබුණේ.

“මුළු ලෝක ජනගහනය බිලියන 9.8 න් බිලියන 2.7 ක ජනගහනක් දකුණු ආසියානු කලාපයේ. එහි ඒකාබද්ධ ආර්ථිකය ඩොලර් බිලියන 43 ක් පමණ වෙනවා. මේ කලාපයේ ඔබට න්‍යෂ්ටික බලවතුන් තිදෙනෙක් සිටිනවා. මෙය ලෝකයේ බලවත්ම කලාපය වනු ඇති.

දෙවන ලෝක යුද්ධය අවසානයේ අපට තිබුණේ ඒක ධ්‍රැව ලෝකයක්. එය පසුව සෝවියට් සංගමය සහ අමෙරිකා එක්සත් ජනපදය තරගකරුවන් වීම හේතුවෙන් ද්වි ධ්‍රැව ලෝකයක් බවට පත් වුණා. පසුව නැවතත් ඒක ධ්‍රැව. දැන් එය නැවතත් අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය ප්‍රධාන තරගකරුවන් වීමත් සමඟ ද්වි ධ්‍රැව බවට පත්වෙමින් තිබෙනවා. 2050 වන විට එය ත්‍රි ධ්‍රැව බවට පත්විය හැකිදැයි මට හිතෙනවා. එහිදී ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව ප්‍රධාන තරගකරුවන් වනු ඇති. විශේෂයෙන් ඒ වන විට ඉන්දියාව තුන්වන විශාලතම ආර්ථිකය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

දකුණු ආසියානු කලාපය බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයට වඩා විශාල පොදුරාජ්‍ය මණ්ඩලයක් වනු ඇති. ආගම, සංස්කෘතිය, ශිෂ්ටාචාරය, සාහිත්‍යය සහ දර්ශනය ඇතුළු වෙනත් දේ අනුව එයට පොදු සබඳතා කිහිපයක් තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක වෙළඳ සංවිධානය කඩාකප්පල් කර ඇති ලෝකයක් අපට දැකගත හැකියි. ඔහු අමෙරිකා එක්සත් ජනපදය විසින්ම සාදන ලද ගෝලීය තත්වයන්ට අභියෝග කර තිබෙනවා. ඒක හරියට පූසෙක් පූස් පැටියා කනවා වගේ. අපි හැමෝම සංවර්ධන එන්ජිම විදිහට අමෙරිකාව දිහා බලනවා. නමුත් දැන් ඒක දෙදරලා. ඒ නිසා කලාපීයවාදය වඩ වඩාත් වැදගත් වෙනවා.

ඉන්දියාවේ නායකත්වය යටතේ දකුණු ආසියාව බලවත් කලාපයක් ලෙස මතුවීමේ අවශ්‍යතාවයක් පවතිනවා. ඉන්දියාව සහ පකිස්ථානය අතර උත්සන්න වන ආතතීන්, ගැටලු මධ්‍යයේ වුවද ආර්ථිකයේ පරිවර්තනය ඉදිරියට යා යුතුයි. ත්‍රස්තවාදය නොතකා සංවර්ධනය ඉදිරියට යා යුතුයි, මන්ද එය අපට ජීවත් වීමට අවශ්‍ය සංසිද්ධියක්” බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 11 වෙනිදා ‘ද හින්දු’ පුවත්පතේ පස් වැනි සංස්කරණයට අදාළව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි පැවති සමුළුවට එක්වෙමින් පවසා තිබුණේ.

Recent Post