මෝදි – සජිත් හමුවෙයි

මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි හමුවීමට හැකිවීම තමන් ලද ගෞරවයක් සේ සලකන බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සඳහන් කරනවා. ඔහු පවසන්නේ මෙය ආර්ථික සහයෝගීතාවකට වඩා ගැඹුරට විහිදුණු අවස්ථාවක් බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි හමුවීමෙන් පසු සිය FB හී සටහනක් තබමින් ඔහු පවසන්නේ මෙම හමුවීම අපගේ රටවල් අතර ගැඹුරු හවුල්කාරිත්වයක් ඇති කිරීමට ඇරයුම් කිරීමක් බවයි.

“ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අදාළ සාමුහික ඉදිරි ගමනක් අන්තර්ගත අනාගතයක් හැඩගැස්වීමට අවස්ථාව පවතී. එහිදී වෙළඳාමෙන් පමණක් නොව, අපගේ ජනතාවගේ යහපැවැත්මෙන් ද වර්ධනය මනිනු ලබයි. එසේම පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ දුෂ්කර සමයන්හි ඉන්දියාව ලබා දුන් නොසැලෙන සහයෝගය පිළිබඳ මා කෘතඥ පූර්වක වෙමි” ඔහු සඳහන් කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ හමුවීමෙන් පසු සිය X ගිණුමෙහි සටහනක් තබන ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සඳහන් කරන්නේ “ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා හමුවීම සතුටකි. ඉන්දියා – ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා එතුමාගේ පෞද්ගලික දායකත්වය සහ කැපවීම අගය කළෙමි. අපගේ සුවිශේෂී හවුල්කාරිත්වයට ශ්‍රී ලංකාව තුළ පක්ෂ භේදයකින් තොරව සහයෝගය හිමි වේ. අපගේ සහයෝගීතාවය සහ ශක්තිමත් සංවර්ධන හවුල්කාරිත්වයට මඟ පෙන්වන්නේ අප දෙරට ජනතාවගේ සුබ සිද්ධියයි” යනුවෙනි.

Recent Post