ජනපති සහ ඉන්දීය අගමැති සංවර්ධන ව්‍යාපෘති සඳහා එක්වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයෙන් මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ සංචාරයට සමගාමීව ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 03ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම අද (05) පෙරවරුවේ සිදු කෙරුණා.

ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 50ක් එක් කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය සහ ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු ආගමික ස්ථාන 5000ක හෙවිලි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදුව තිබුණා.

අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් පසු නායකයන් දෙදෙනා මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් මෙවර අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරුණා.

ඉන්දියාවේ National Thermal Power Corporation Limited (NTPC) ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සම හවුල්කාරිත්වයෙන් සංස්ථාගත කළ ත්‍රිකුණාමල විදුලිබල සමාගමෙන් ඉදිකිරීමට නියමිත සාම්පූර් සූර්ය විදුලි බලාගාරය දිගුකාලීන බලශක්ති උත්පාදන පුළුල් කිරීමේ සැලැස්ම (Long Term Generation Expansion Plan -LTGEP) අනුව ස්ථාපිත කිරීමට නියමිත ඊසානදිග පුනර්ජනනීය බලශක්ති කලාපයේ කොටසක්.

සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය අදියර දෙකකින් සැලසුම් කර ඇති අතර දෙවන අදියර 2027දී ආරම්භ කිරීමට නියමිතය. අක්කර 500ක භූමි ප්‍රදේශයක් මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති අතර මෙහි පළමු අදියර යටතේ  මෙරට ජාතික විදුලිබල සැපයුමට එක් කරන විදුලිබල ධාරිතාව මෙගාවොට් 50ක්. N-type TOPCon solar cells යන නවීනතම තාක්ෂණය සහිතව ඉදිවන මෙම ව්‍යාපෘතිය මගින්, බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමත්, මෙරට බලශක්ති පද්ධතිය තවදුරටත් ෆොසිල ඉන්ධන මත යැපීම වෙනුවට පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමු කර වීමත් අපේක්ෂා කරනවා. ඒ අනුව, සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය තුළින් වායුගෝලයට වාර්ෂිකව විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, ටොන් ලක්ෂ 02කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂා කරනවා.

පසු අස්වනු හානිය 40%කින් පමණ අවම කර ගැනීම, කෘෂි නිෂ්පාදන මිලෙහි උච්චාවචනය පාලනය කිරීම, පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාර සැපයීම සහ කෘෂිකාර්මික තිරසාරභාවය වැඩිදියුණු කිරීම ආදී අරමුණු සහිතව උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවක් සහිතව ඉදි කළ  දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාරය) අද මෙලෙස  විවෘත කළා.

විවිධ භෝග සඳහා ප්‍රශස්ත ගබඩා ක්‍රම පිළිබඳ පර්යේෂණ සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම ගබඩාවේ කුටි හයක්  ස්ථාපිත කර ඇති අතර,  එම සෑම කුටියක්ම විවිධ දේශගුණික තත්ත්වයන් අනුකරණය කරමින් ඉදි කර තිබේ. මෙරට ඉදිකළ  මෙවන් ආකාරයේ පළමු ගබඩා සංකීර්ණය වන මෙහි සමස්ත වියදම රුපියල් මිලියන 524ක්. ඉන් රුපියල් මිලියන 300ක් ඉන්දීය රජයේ ප්‍රදානයක් වන අතර ශ්‍රී  ලංකා රජයෙන් මේ සඳහා රුපියල් මිලියන 224ක් වැය කර තිබෙනවා.

ආගමික ස්ථාන 5000ක හෙවිලි මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යනු දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි හා සියලුම ආගම් නියෝජනය වන පරිදි තෝරා ගත් ආගමික ස්ථාන 5000ක් සඳහා සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක්. ඉන්දීය රජය මේ සඳහා ඩොලර් මිලියන 17ක් ආයෝජනය කර ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලි සමාගම එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික හා ක්‍රිස්තියානි පූජනීය ස්ථානයන්හි වහල මත 5 kW ධාරිතාවකින් යුත් සූර්ය පැනල පද්ධති 5,000ක් ස්ථාපනය කෙරේ. මෙමගින් මෙරට බලශක්ති ජාලයට මෙගාවොට් 25ක සූර්යබල ධාරිතාවක් එකතු කිරීමට අපේක්ෂිතයි. මෙම ව්‍යාපෘතිය තුළින් පිරිවැය ඵලදායී, තිරසර හා විශ්වාසනීය බලශක්ති පද්ධතියක් කෙරෙහි  වන රජයේ මෙහෙවර අවධාරණය කෙරෙනවා.

Recent Post