ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී ඉදිරියේ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිචේඡේදයක් සනිටුහන් කරමින් බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සහ ප්‍රදාන ආධාර පිළිබඳ මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදුවුණා.

විදුලිබලය ආනයනය/අපනයනය කිරීම සඳහා අධිවෝල්ටීය සරල ධාරා (HDVC) අන්තර් සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි විසින් හුවමාරු කර ගත්තා.

ඩිජිටල් පරිවර්තනය උදෙසා ජනතා මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කරගැනීමේ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි විසින් හුවමාරු කරගෙන තිබුණා.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල, ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් අලමෙරි අතර අත්සන් තබනු ලැබුවේ ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුත්තේ සහයෝගීතාව සඳහා යි. එය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වූ ත්‍රෛයිපාර්ශවීය අවබෝධතා ගිවිසුමක්.

ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි විසින් හුවමාරු කර ගත්තා.

ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර වූ සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා විසින් අත්සන් කළා. ඒ සමඟම ඖෂධ සංග්‍රහ සහයෝගීතාව උදෙසා ඉන්දියානු සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ඖෂධ සංග්‍රහ කොමිසම සහ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර වූ අවබෝධතා ගිවිසුමත් ඒ දෙදෙනා විසින් ම හුවමාරු කරගනු ලැබුවා.

නැඟෙනහිර පළාතේ බහු – ආංශික ප්‍රදාන සහාය සඳහා වූ අවබෝධතා ගිවිසුම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා අතර හුවමාරු කර ගත්තා.