මෙරට ට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පවත්වන ද්විපාර්ශවීය සාකච්ඡාවලින් පසු ආරක්ෂක, බලශක්ති ආරක්ෂාව සහ ඩිජිටල්කරණය යන ක්ෂේත්රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු කරුණු 10 ක් පමණ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සහ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලීය ප්‍රධානීන්ද කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට එක්ව සිටියා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඇතුළු ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිනවා.
“කොළඹට පැමිණියා. ගුවන්තොටුපළේ දී මාව පිළිගත් ඇමතිවරුන්ට සහ සම්භාවනීය අමුත්තන්ට කෘතඥ වෙනවා. ශ්‍රී ලංකාවේ වැඩසටහන් බලාපොරොත්තුවෙන් ඉන්නවා” ඉන්දීය අගමැතිවරයාගේ නිල ‘X’ ගිණුම සටහන් කර තිබෙනවා.
තායිලන්තයේ දෙදින සංචාරයක් අවසන් කිරීමෙන් පසු මෙහි පැමිණි අග්‍රාමාත්‍යවරයා, ඔහු නවාතැන් ගෙන සිටින හෝටලය වන ටාජ් සමුද්‍රා හිදී ඉන්දියානු සම්භවයක් ඇති පිරිසක් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක නිරත වන මෝදි අගමැතිවරයා, ජනාධිපති අනුර දිසානායක විසින් සත්කාරකත්වය දරන පළමු විදේශීය නායකයා යි. අග්‍රාමාත්‍යවරයා අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2019 දී යි.
අග්‍රාමාත්‍ය මෝදි ජනාධිපති අනුර දිසානායක අද සෙනසුරාදා සාකච්ඡා පවත්වනු ඇති. එමඟින් ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් සහ බලශක්ති අංශයේ ගැඹුරු මැදිහත්වීමක් සඳහා රාමු ඇතුළුව අවම වශයෙන් ප්‍රතිඵල 10 ක් ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
rediff.com නම් ඉන්දීය මාධ්‍ය වෙත එක්වෙමින් මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පැවසුවේ, ලෝකයේ ඕනෑම රටකට ඉන්දියාව ලබා දෙන ආධාරවලට සාපේක්ෂව නවදිල්ලිය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පෙර නොවූ විරූ එකක් බවයි.
“එය විශාල සහයෝගයක් වූ අතර, විවිධ ක්ෂේත්රවල ශ්‍රී ලංකාවට ආධාර සැපයීම සඳහා අපි අඛණ්ඩව කටයුතු කරන අතර එය මෙහිදී බෙහෙවින් අගය කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විස්තීර්ණ අරමුදල් පහසුකම ශ්‍රී ලංකාවට ලබා දීමට තීරණයක් ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතික ලබා දුන් පළමු රට ඉන්දියාවයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් බවට අපගේ පැත්තෙන් සහතික ලබා දුන් පළමු අය අපියි. අපි ප්‍රංශය සහ ජපානය සමඟ සම සභාපතිත්වය දැරීමට නිල ණය හිමි කමිටුවට එක් වුණා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමීපතම සමුද්‍රීය අසල්වැසියන් බව ඔබ සැම දන්නා නිසා, අපි එම අවබෝධය ඉදිරියට ගෙන යන අතර සම්බන්ධතාවයට නව න්‍යාය පත්‍රයක් එක් කරන්නවා. අපගේ පොදු ඉතිහාසය, භූගෝලය, අපගේ සංස්කෘතික සබඳතා සැලකිල්ලට ගෙන මෙම සම්බන්ධතාවය අපට ඉතා වැදගත්.
ඉදිරියේ දී අපට පොදු අනාගතයක් ඇති බවට දෙරට අතර අවබෝධයක් තිබෙනවා.” යි මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළ බවයි rediff.com වාර්තා කරන්නේ.