කාන්තාවන් දුම්කොළ, මද්‍යසාර සහ අනිකුත් මත්ද්‍රව්‍ය නිසා විවිධ පීඩාවන්ට පත්ව සිටියි. ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ගේ දුම්වැටි සහ මද්‍යසාර භාවිතය අතිශයින් අඩු මට්ටමක පවතින අතර දුම්කොළ සහ මද්‍යසාර සමාගම් කාන්තාවන් ඔවුන්ගේ පාරිභෝගිකයන් බවට පත්කර ගැනීමට සහ කාන්තාවන් අතර දුම්කොළ සහ මද්‍යසාර වෙළඳාම සාමාන්‍යකරණය කිරීමට විවිධ උපායමාර්ග යෙදවීමට නිරන්තරයෙන් උත්සාහ කරයි. ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මෙම තත්ත්වය දැකගත හැකිය.
මද්‍යසාර සමාගම් වල උපාය මාර්ග අනාවරණය කර ගැනීම සහ අනෙකුත් පුද්ගලයන්ගේ මද්‍යසාර පරිභෝජනය හේතුවෙන් කාන්තාවන්ට මුහුණ දීමට සිදු වී ඇති අහිතකර බලපෑම් විමර්ශනය කිරීමේ අරමුණින් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) 2025 කාන්තා දිනය තේමා කරගනිමින් සමීක්ෂණයක් පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් වයස අවුරුදු 15ට වැඩි කාන්තාවන් 1000කින් දත්ත රැස් කිරීමෙන් මෙම සමීක්ෂණය සිදු කරන ලදි. මෙම සමීක්ෂණය පවත්වන ලද්දේ අනෙකුත් පුද්ගලයන්ගේ මද්‍යසාර භාවිතය හේතුවෙන් කාන්තාවන්ට මුහුණ දීමට සිදුව ඇති අහිතකර බලපෑම් සහ මද්‍යසාර හේතුවෙන් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත්තේ කෙසේද යන්න විමර්ශනය කිරීම සඳහාය. එහිදී,
- කාන්තාවන්ගෙන් 54%ක් මද්‍යසාර භාවිත කරන්නන් නිසා විවිධ ගැටලුවලට මුහුණ දී ඇති බවත්,
- කාන්තාවන්ගෙන් 43%ක් තමන්ට සිදුවන අයහපත් මානසික අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින බවත්,
- කාන්තාවන්ගෙන් 69%ක් මද්‍යසාර භාවිතය නිසා පොදු ස්ථාන වලදී අපහසුතාවයට පත්ව ඇති බවත්,
- කාන්තාවන්ගෙන් 37%ක් මද්‍යසාර සමාගම් විසින් කාන්තාවන් මද්‍යසාර පරිභෝජනයට ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන බව තමන් නොදැන සිටින බවත්.
- කාන්තාවන්ගෙන් 64% ක් මද්‍යසාර සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා කාන්තාවන් භාවිතා කරන විට කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් වාර්තා කර තිබේ.
අනෙකුත් පුද්ගලයන්ගේ මද්‍යසාර භාවිතය හේතුවෙන්, කාන්තාවන්ගෙන් 54% ක් විවිධ ආකාරයෙන් ගැටලු වලට මුහුණ දී ඇති බව අධ්‍යයනයෙන් පැහැදිලි වී ඇත.

ප්‍රධාන වශයෙන් කාන්තාවන්ගෙන් 27.4% අසල්වාසීන් නිසාත්, 27% නාඳුනන අය නිසාත් සහ 20% තම පවුලේ සමාජිකයන්ගේ මද්‍යසාර භාවිතය නිසාත් ගැටලුවලට මුහුණ දී ඇති බව වාර්තා කර තිබේ.

කාන්තාවන්ගෙන් 43%ක් අනෙකුත් පුද්ගලයන්ගේ මද්‍යසාර භාවිතය හේතුවෙන් අයහපත් මානසික අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බව හෙළි කර තිබේ. තවද, සමීක්ෂණයෙන් පෙනී යන්නේ මද්‍යසාර නිසා කාන්තාවන්ගෙන් 38.2%කගේම සතුටට මෙය බාධාවක් වී ඇති බවත්, 27.3%කට ආර්ථික දුෂ්කරතා ඇති කරන හේතුවක් වී ඇති බවත්, 24%කගේ නිදහස සීමා කරන හේතුවක් බවත්, 18%කගේ අධ්‍යාපනයට බාධාවක් වී ඇති බවත්, 12%ක කාන්තාවන්ට ගෘහස්ථ හිංසනයට මුහුණ දීමට සිදුව ඇති හේතුවක් බවත්ය.

කාන්තාවන්ගෙන් 69% වාර්තා කර ඇත්තේ අනෙකුත් පුද්ගලයන්ගේ මද්‍යසාර භාවිතය හේතුවෙන් ඔවුන් සහ ඔවුන්ගේ මිතුරන් යන දෙපාර්ශ්වයම පොදු ස්ථානවල අපහසුතාවයට පත්ව ඇති බවයි.

මද්‍යසාර භාවිතය හේතුවෙන් ප්‍රසිද්ධ ස්ථානවල අපහසුතාවයට පත්වන කාන්තාවන්ගෙන් බහුතරයක් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ. කාන්තාවන්ගෙන් 61% ක් ප්‍රකාශ කළේ එවැනි අවස්ථා වලදී පොදු ස්ථානවල අපහසුතාවයක් දැනෙන විට පවා ඔවුන් ප්‍රතිචාර නොදැක්වූ බවයි. මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වීමට කාන්තාවන්ගෙන් 11% ක් අකැමැති බව ප්‍රකාශ කිරීම විශේෂත්වයකි

කාන්තාවන්ගෙන් 40% ක් වාර්තා කළේ මද්‍යසාර භාවිතයට කාන්තාවන් ආකර්ෂණය කර ගැනීමට මද්‍යසාර සමාගම් විවිධ උපක්‍රම භාවිතා කරන බවයි.

මද්‍යසාර සමාගමේ උපක්‍රම පුළුල්ව පැතිරී ඇතත්, කාන්තාවන්ගෙන් 37% ක් මද්‍යසාර සමාගම් වල උපක්‍රම කාන්තා අයිතිවාසිකම් සමඟ සම්බන්ධ කිරීමෙන් මද්‍යසාර භාවිතයට කාන්තාවන් ආකර්ෂණය කරන බව නොදැන සිටියහ. මේ පිළිබඳව දැනුවත්ව සිටියේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 29% ක් පමණි

කාන්තාවන්ගෙන් 64% ක් වාර්තා කළේ මද්‍යසාර සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා කාන්තාවන් භාවිතා කරන විට කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

මෙහිදී මද්‍යසාර ප්‍රවර්ධනය කාන්තාවන් ඉලක්ක කර ගන්නා ආකාරය පිළිබඳව අවබෝධය සලකා බැලීමේදී වාර්තා වී ඇත්තේ චිත්‍රපට වල 54%ක් ද, Facebook හී 43%ක් ද, Tiktok හි 29.3%ක් ද, YouTube හි 20.2%ක් සහ Instagram හි 16%ක් ද ලෙසින් ද 24% ක් සම්ප්‍රදායික මාධ්‍යවල ප්රවර්ධනයන් සිදුවන බවට ඔවුන් දැනුවත් බවත්, කාන්තාවන්ගෙන් 24.2% ප්‍රසංග අතරතුර ප්රවර්ධනයන් සිදුවන බවත්, 23.6%ක් සමාජ රැස්වීම් වලදී ප්රවර්ධනයන් සිදුවන බවට දනුවත් බවත් මෙහිදී වාර්තා කර තිබේ.

මේ වන විටත් මද්‍යසාර සමාගම් වල උගුලේ සිරවී සිටින පිරිමින්ගේ තත්තවයට කාන්තාවන් පොළඹවා ගැනීමට මද්‍යසාර සමාගම් ගන්නා සදාචාර සම්පන්න නොවන උපක්‍රම සහ අනිසි මැදිහත්වීම් වලින් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. මද්‍යසාර නිසා කාන්තාවන් මුහුණ දෙන අභියෝග වලට මුහුණ දීමට සහ මද්‍යසාර සමාගම් විසින් භාවිතා කරන ඉලක්කගත ප්‍රවර්ධන උපාය මාර්ග පාලනය කිරීමට මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පහත නිර්දේශ ඉදිරිපත් කරයි.
- මද්‍යසාර වල රසායනික බලපෑම අවපීඩනයකි. කෙසේ වෙතත්, මද්‍යසාර උත්තේජකයක් ලෙස සමාජ ගත කිරීමට මද්‍යසාර සමාගම විසින් විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරමින් සිටියි. මෙවැනි උපක්‍රම වැළැක්වීමට සහ බලපෑම අවම කිරීම සඳහා මද්‍යසාර භාවිතයේ සැබෑ රසායනික බලපෑම කුඩා කල සිට දරුවන්ට අවබෝධ කිරීම සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් හඳුන්වා දිය යුතුය.
- මද්‍යසාර භාවිතය සම්බන්ධ මිථ්‍යාවන් සහ ව්‍යාජ ප්රතිරූප පිළිබඳව කාන්තාවන්, තරුණයන් සහ ළමුන් දැනුවත් කිරීම සහ ඒ පිළිබඳ අධ්‍යාපනයක් ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇත.
- දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි (NATA) පනතට අනුව, කාන්තාවන් සහ තරුණයින් ඇතුළු සමාජයේ සියලුම කොටස් ඉලක්ක කර ගනිමින් දුම්කොළ සහ මද්‍යසාර වෙළඳ දැන්වීම් තහනම් වේ. කෙසේ නමුත්, තවමත් එවැනි දැන්වීම් සහ ප්‍රවර්ධන කටයුතු විවිධ ආකාරයෙන් සිදුවෙමින් පවතී. ඒ නිසා NATA පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කරවීම සහ වසර ගණනාවක සිට ඉල්ලා සිටින NATA පනත ශක්තිමත් කිරීමට යෝජිත සංශෝධන වහාම ක්‍රියාත්මක කළ යුතුය.
- මද්‍යසාර භාවිතයට මුවා වී සිදුවන හිරිහැරවලට ප්‍රතිචාර දැක්වීමට කාන්තාවන් දිරි ගැන්විය යුතුය.
- “මව” යනු ශ්‍රී ලාංකීය සමාජය තුළ ගැඹුරු සංස්කෘතික වටිනාකමක් සහ වැදගත්කමක් ඇති භූමිකාවකි. අප රටතුළ මද්‍යසාර භාවිතය වැළැක්වීම සහ අවම කිරීම සඳහා මව්වරුන් ප්රමුඛ කාන්තාවන් විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. කෙසේ වෙතත්, මද්‍යසාර සමාගම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සමඟ මද්‍යසාර භාවිතය සම්බන්ධ කර කාන්තාවන් මද්‍යසාර උගුලේ සිරකොට “මව” යන සංකල්පයට පහර දෙමින් මෙම සංස්කෘතික වටිනාකම් විකෘති කිරීමට උත්සාහ කරයි. එමනිසා, සෑම කෙනෙකුම මද්‍යසාර සමාගම් වල උපාය මාර්ග හෙළිදරව් කිරීමට, මුළා කිරීමට එරෙහි වීමට සහ ඔවුන්ගේ බලපෑම් පාලනය කිරීමට කටයුතු කළ යුතුය.