පසුගිය වසර 20ක කාලය තුළ පෘථිවියේ අභ්‍යන්තර හරය (The inner core) වෙනස් වී ඇතැයි උපකල්පනය කළ හැකි බව 66 හැවිරිදි අමෙරිකානු විද්‍යාඥ, USC Dornsife College of Letters, Arts and Sciences හි පෘථිවි විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් එමිලියෝ විඩේල් (John Emilio Vidale) ප්රමුඛ විද්‍යාඥයින් කණ්ඩායමක් පවසනවා. පෘථිවියේ අභ්‍යන්තර හරය සාමාන්‍යයෙන් බෝලයක හැඩයකින් යුක්ත වන බවට සැලකෙන නමුත්, එහි දාර ඇතැම් ස්ථානවලින් මීටර් 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ස්වභාවික ස්වරූපයේ වෙනසක් වී ඇති බවයි මේ පිළිබඳව සිදුකළ පර්යේෂණයට එක්වූ කණ්ඩායමේ ප්‍රධානියා වූ මහාචාර්ය ජෝන් විඩේල් කියන්නේ.

අප ජීවත් වන පෘථිවියේ හරය ග්‍රහලෝකයේ හදවත මෙන් ක්‍රියා කරන අතර, සූර්යයාගේ හානිකර විකිරණවලින් ජීවය ආරක්ෂා කරන චුම්භක ක්ෂේත්රයක් නිර්මාණය කරයි. අභ්‍යන්තර හරය බාහිර හරයෙන් සහ පෘථිවියේ සෙසු කොටස්වලින් වෙන්ව තනිව භ්‍රමණය වෙන බවයි සඳහන් වන්නේ. එම අභ්‍යන්තර භ්‍රමණය වීම නැවතුණහොත්, වසර බිලියන ගණනකට පෙර අඟහරු ග්‍රහයා මෙන් පෘථිවියට එහි චුම්බක ක්ෂේත්රය අහිමි වී නිසරු වනු ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.
පෘථිවි අභ්‍යන්තරය පිළිබඳව වූ මෙම පර්යේෂණයේ ප්‍රතිඵල පෙබරවාරි 10 වෙනිදා Nature Geoscience සඟරාවේ පළවී තිබෙනවා. පෘථිවි භ්‍රමණය හා සසඳන විට අභ්‍යන්තර හරය මන්දගාමී වී 2010 දී නැවතත් වේගවත් වූ හේතුව කුමක් දැයි මෙම විද්‍යාඥයන් මුලින් සොයා බැලීමට උත්සහ කළ බවයි කියන්නේ.
පෘථිවියේ හරය එහි මතුපිට සිට සැතපුම් 4,000ක් පමණ දුරින් පිහිටා ඇති අතර විද්‍යාඥයින්ට මේ දක්වා කිසිඳු ආකාරයකින් ඒ වෙත ළඟා වීමට නොහැකි වී තිබේ. හරය ගැන තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා, ඇතැම් පර්යේෂකයන් පෘථිවිය හරහා නිරීක්ෂණය වන භූමිකම්පාවලින් ඇති වන කම්පන තරංග අධ්‍යයනය කරයි. එම කම්පන තරංග ගමන් කරන ආකාරය අභ්‍යන්තර හරය ඇතුළුව ඒවා හරහා ගමන් කළේ කුමන ආකාරයේ ද්‍රව්‍ය හරහා ද යන්න හෙළිකරන අතර, පෘථිවි අභ්‍යන්තරයේ ඇති දේ විද්‍යාඥයින්ට තේරුම් ගැනීමට ඒවා උපකාරී වෙන බවයි 2017 සිට 2018 දක්වා USC හි දකුණු කැලිෆෝනියා භූමිකම්පා මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජෝන් එමිලියෝ විඩේල් කියන්නේ.
1991 සහ 2023 අතර කාලයේදී එක ම ස්ථානයේ ඇති වූ භූමිකම්පාවලින් භූ කම්පන තරංග රටා පරීක්ෂා කරන ලද අතර දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පෘථිවි පිළිබඳව හදාරන විද්‍යාඥයෙකු වන මහාචාර්ය ජෝන් එමිලියෝ විඩේල් 2010 දී පමණ පෘථිවි අභ්‍යන්තර හරය මන්දගාමී විය යන අදහස ඉදිරිපත් කළා. ඔවුන් කණ්ඩායම සඳහන් කරන්නේ අභ්‍යන්තර හරය හැඩය වෙනස් වන බවයි. අභ්‍යන්තර හරයේ ද්‍රවාංකයට ආසන්නව පවතින අභ්‍යන්තර හා පිටත හරය අතර මායිමේ මෙය සිදු වන බව පෙනේන බව ඔවුන් පවසනවා. මේ හේතුවෙන් පෘථිවි බාහිර හරයේ ගලායාම සහ අසමාන ගුරුත්වාකර්ෂණය හැඩය වෙනස් වීමට හේතු විය හැකි බව ඔවුන් සඳහන් කරනවා.
මෙම අධ්‍යයන කණ්ඩායමට ඇතුලත් නොවූ Australian National University හී මහාචාර්ය හර්වොජේ ට්කාල්සික් (Hrvoje Tkalčić) පැවසුවේ, මෙම විද්‍යාත්මක පත්‍රිකාව ‘තවදුරටත් ගවේෂණය කළ යුතු සිත්ගන්නාසුලු අදහසක්’ සපයන බවයි. එය විසින් විද්‍යාවේ අඩුවෙන් ම තේරුම් ගත් දේවල්වලින් එකක් වන පෘථිවි අභ්‍යන්තර හරයේ ඝනකම වැනි වැදගත් ගුණාංග ගැන වඩා හොඳ අනුමාන කිරීමකට විද්‍යාඥයින්ට උපකාර කළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
“විද්‍යාවේදී, අපි සාමාන්‍යයෙන් උත්සහ කරන්නේ ඒවා තේරුම් ගන්නා තෙක් ඒවා දෙස බැලීමට. පෘථිවි අභ්‍යන්තර පිළිබඳව වන අපගේ මෙම සොයා ගැනීම අපගේ දෛනික ජීවිතයට අංශු මාත්‍රයකට හෝ බලපාන්නේ නැහැ, නමුත් අපට සැබවින් ම අවශ්‍ය වන්නේ, පෘථිවියේ මැද සිදුවන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීම යි. පසුගිය දශක කිහිපය තුළ පෘථිවි චුම්බක ක්ෂේත්රය විවිධ අවස්ථාවලදී කම්පනයට පත් වී ඇති අතර, එය අභ්‍යන්තර හරයේ මායිමේ අප දකින දෙයට සම්බන්ධ දැයි දැන ගැනීමට අප කැමති යි. අපි මෙම වෙනස්කම් නිවැරදිව අර්ථකථනය කරන බව අපට සම්පූර්ණයෙන් ම විශ්වාස නැහැ” යි මෙම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී අමෙරිකානු විද්‍යාඥ මහාචාර්ය ජෝන් එමිලියෝ විඩේල් පවසනවා.