ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යනු පසුගිය කාලයේ ජනතාව අතර බොහෝ කතාබහට ලක් වූ ආයතනයකි. ඉන්ධන සම්බන්ධයෙන් මෙන්ම වරින් වර පැමිණි වර්ජනයන් නිසාද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධ විය. අධික පාඩු ලබන රාජ්‍ය ආයතන අතර මුල් තැනක් ගෙන තිබුණු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ තත්ත්වයට පත් වූයේ වරින් වර බලයට පත් ආණ්ඩු විසින් සිදු කළ අනිසි පත්වීම්, අයථා බඳවා ගැනීම් මෙන්ම සංස්ථාව මඟින් කළ දූෂණ නිසාය.
පසුගිය කාලයේ ඇතැම් වෘත්තීය සමිති නායකයන් ආයතනය රැක ගැන්ම වෙනුවෙන් කතා කළ ද, ඔවුන් විසින් සිදු කර ඇති මහා පරිමාණ දූෂණ ද මේ වන විට එළිව තිබේ. එසේ එළියට එන ඇතැම් දූෂණ වසාගැන්ම පිණිස රජයට නැත්නම් පාලනාධිකාරියට විවිධ අපවාද අවලාද එල්ල කිරිමටද ඔවුහු පෙලඹී සිටිති.
වර්තමාන සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා විසින් සංස්ථාවේ ප්රගතිය වෙනුවෙන් සිදු කරනු ලබන මෙහෙයද ඇතැම් වෘත්තීය සමිති නායකයන්ට දිරවන්නේ නැත. ඒ තම අභිමථාර්ක ඉටු කරගත නොහැකි බැවිනි. එහෙත් අඩුම වශයෙන් මේ වන විට සේවක සුභසාධනයට ගෙන ඇති පියවර ගැන හෝ මේ උදවිය සතුටු විය යුතුය. සංස්ථාවේ සභාපතිවරයාට පරිහරණය පිණිස දී ඇති අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය භාවිතය සභාපතිවරයා ප්රතික්ෂේප කර තිබේ.
එයට හේතුව මේ මෝටර් රථය ඉන්ධන භාවිතය අතින් අවම කාර්යක්ෂමතාවක් සැපයීමයි. අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIESට අයත් මේ මෝටර් රථය 2018 වසරේ මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 29.5කට (රුපියල් ලක්ෂ 295ක්) ය. මෝටර් රථය පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 4ක් පමණි. මේ වන විට මෝටර් රථය අවස්ථා කිහිපයකම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් හැටහත් ලක්ෂ හැත්තෑහයදහස් තුන්සිය හතළිස් නවයක් වැය කර තිබේ. එමෙන්ම වාහනයේ මාසික සේවා වෙනුවෙන්ද අතිවිශාල මුදලක් වැය කරන්න සිදුව තිබේ. එසේම වාර්ෂික රක්ෂණාවරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කළ යුතුය.
මේ සුපිරි මෝටර් රථයේ වර්තමාන වටිනාකම වන්නේ රුපියල් මිලියන 52ක් හෙවත් ලක්ෂ 520කි. මේ රථය ධාවනය කළත් නොකළත් පාඩු සිදු වේ. වාහනය භාවිතා නොකළ විට සිදු වන්නේ එහි රික්තක අඩු වී (වැකුම් බැස) එයි සංවේදක (සෙන්සර්) අක්‍රිය වී විශාල වියදමක් දරන්නට සිදු වීමයි. භාවිත කළ විට අධික ඉන්ධන පරිභෝජනයක් සිදු වේ.
මේ කරුණු සැලකිල්ලට ගත් වර්තමාන සභාපතිවරයා මේ වන විට තීරණය කර ඇත්තේ එම සුපිරි රථය අලෙවි කර, එයින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන, එම බස් රථ සේවක ප්රවාහනය වෙනුවෙන් ලබා දෙන්නටය. ඒ හරහා සංස්ථාවට විශාල වැයක් අඩු වනු ඇත. එක් අතකින් බස් මිල දී ගන්නා නව බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ එක් බස් රථයකට මිලියන 20ක් පමණ වන අතර, බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ මිලියන 40ක් පමණ මුදලක් පමණි.
එසේම මේ වන විට සේවක ප්රවාහනයට යොදා ඇති ටාටා බස් රථ වසර 10කට වඩා පැරැණි වන අතර, එම බස් රථවල ගමන් කිරීම සේවකයන්ටද මහත් හිරිහැරයකි. මිල දී ගැනීමට යෝජනා කර ඇති බස් රථ දෙක පූර්ණ වායුසමනය කළ බස් රථ වේ. එමෙන්ම දැනට භාවිත කරනු ලබන දොර දෙකේ බස් රථ සඳහා රියැදුරුට අමතරව තවත් සහායකයකු ගමන් කළ යුතුය. එහෙත් මිලට ගැනීමට යෝජිත බස් රථවලවලට රියැදුරු පමණක් ප්රමාණවත් වනු ඇත. ඒ මඟින්ද අතිරේකව වැය කළ යුතු වැටුප්, අතිකාල ඇතුළු විශාල මුදලක් ඉතිරි වනු ඇත.
ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්රිකාව පසුගිය සිකුරාදා ඉදිරිපත් කර තිබිණි. තම පරිභෝජනයට දුන් සුපිරි රථයක් ඉන්ධන පරිභෝජනය අවම නිසා ප්රතික්ෂේප කර, ඒ මුදලින් සේවකයන්ට බස් රථ ලබා දීමට කටයුතු කළ පළමු සභාපතිවරයා බවට රාජකරුණා මහතා පත්වන්නේය. මෙවන් කරුණු සංවේදි ඇසින් බැලිය යුතුය. එහෙත් අපේ බහුතරයක් පෙලඹී සිටින්නේ තමන්ට පෙනෙන ඇසට හසු වන දෙයින් පමණක් තීරණ ගැනීමටය.