හිරුනිකා ඇතුළු පිරිසකට එරෙහි නඩුව​ට දින

පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනයේ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මහජනතාවට අවහිරයක් වන ආකාරයෙන් විරෝධතා සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14 දෙනාට අදාළ පැමිණිල්ල ලබන පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ අද මෙම පැමිණිල්ල ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.

එහිදී විමර්ශන සිදුකරන කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා ගැනීම සඳහා යොමුකර ඇති බවයි. මෙම නඩු කටයුත්තට අදාළව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් පොලීසිය පැවසුවා.

සැකකාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල අධිකරණය හමුවේ කරුණු දක්වමින් කාන්තා හිංසනය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම සඳහා මෙම සැකකාරියන් විසින් අදාළ විරෝධතාව සිදුකළ බවයි. ඒ තුළින් රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් නොතිබූ බව ද සඳහන් කර සිටියා.

මහෙස්ත්‍රත්වරයා සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ ගොනු නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමුකර ඇති බැවින් ඊට අදාළව නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසයි. ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 10 වනදා කැඳවීමටද නියෝග කෙරුණා.

Recent Post