සැප්තැම්බර් 21 ජයග්‍රහණය ස්ථීරයි

සැප්තැම්බර් 21 වෙනිදා ජාතික ජන බලවේගය අතට දේශපාලන බලය මාරු කර ගැනීමත් සමඟ පළමුවෙන්ම මේ සමාජයට දේශපාලකයා ආදර්ශය දෙන්න පටන් ගන්න බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කියනවා. ඇමතිවරයා මහජනයාගේ සේවකයෙක් සංකල්පයට මේ රටේ දේශපාලනය පරිවර්තනය කරන බවයි ඔහු පවසන්නේ.

“අපේ රටේ තිබුණු පළි ගැනීමේ දේශපාලන සංස්කෘතිය සැප්තැම්බර් 21 අපි ලබන ජයග්‍රහණයත් සමඟ වෙනස් කරනවා. අපි දිනලා ජයග්‍රහණය සැමරීමේ ආදර්ශයත් අපි මේ රටට දෙමු. පියවරෙන් පියවර මේ රට හදන්න පටන් ගනිමු.

පළමුව අපේ රටේ ජාතික සමගිය ගොඩනගන්න ඕනෑ. ඒ සඳහා අලුත් ව්‍යවස්ථාවක් අපි සම්මත කර ගන්නවා. කතා කරන භාෂාවේ අයිතිය, අදහන ආගමේ අයිතිය, අනුගමනය කරන සංස්කෘතියේ අයිතිය පිළිගන්නා රාජ්‍යයක් බවට මේ රට පරිවර්තනය කරනවා. හැමෝටම සමානව සලකන ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව පත් කරනවා.

ආණ්ඩුවකට ධනය එන්නේ කොහොමද. එළියේ කර්මාන්තකරුවා, ව්‍යාපාරිකයා, ධීවර කර්මාන්තයේ ඉන්න ව්‍යවසායකයා, කෘෂිකර්මාන්තයේ ඉන්න ගොවියා රටට ධනය උත්පාදනය කරනවා. ඒ ගොල්ලන් උපයන ධනයෙන් යම් ප්‍රමාණයක් බද්දක් ලෙස ආණ්ඩුවට අරගන්නවා. භාණ්ඩාගාරයට සල්ලි වැඩි කර ගන්න නම්, තව තවත් කර්මාන්ත, ව්‍යාපාර, ඇති කරන්න ඕනෑ. ධීවරයා මත්ස්‍ය අස්වැන්න වැඩි කරන්න ඕනෑ. එතකොට රටේ ධනය වැඩි වෙනවා. භාණ්ඩාගාරයටත් ධනය එකතු වෙනවා. රට පොහොසත් වෙනවා, ආණ්ඩුවත් පොහොසත් වෙනවා. එතකොට අධ්‍යාපනය සඳහා, සෞඛ්‍යය සඳහා සල්ලි ආණ්ඩුවෙන් වැඩිපුර අරමුදල් ගලාගෙන එනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වැඩේ තමයි, ව්‍යවසායකයාට, කර්මාන්තකරුවාට සහාය දීලා ඒ අයගේ ධනය වැඩි කිරීම. ඒ වගේම අලුත් ආදායම් ලබන්න අලුත් ව්‍යාපාරිකයන් හදන්න ඕනෑ. එතකොට තමයි භාණ්ඩාගාරයට වැඩිපුර සල්ලි එන්නේ.

අපි ආරම්භ කරනවා අලුත් සංවර්ධන බැංකුවක්. ඕනෑම තරුණයෙකුට පුවළුන් තමන් ආරම්භ කරන ව්‍යාපාරය පිළිබඳව ව්‍යාපෘති වාර්තාවක් දෙන්න. ඒ ව්‍යාපෘති වාර්තාව සැලකිල්ලට භාජනය කරලා, ශක්‍යතාවයෙන් යුතු ව්‍යාපෘතියක් නම්, ආණ්ඩුව බැංකුවට ගැරන්ටියක් දෙනවා. එවිට තරුණයාට සල්ලි ලැබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරියා අදියරෙන් අදියර මේ ගැන සොයා බලනවා. ඒ තුළ අලුත් කර්මාන්තකරුවෙක් හැදෙනවා. ජාතික ජන බලවේගයේ සංවර්ධන බැංකුවේ සංකල්පය ඒක. අපි ඇප රහිත ණය මුදලක් දෙන්නේ. අලුත් කර්මාන්තකරුවන්, අලුත් ව්‍යවසායකයන් බිහිකරන්න ආණ්ඩුව අතහිත දෙනවා. අපි ලෝකයේ ආර්ථිකය සොයා යන්න ඕනෑ. අප්‍රිකානු කලාපයේ දැවැන්ත ව්‍යාපාරයන් කරන ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. අප්‍රිකානු කලාපයේ විශාල අවස්ථාවන් තිබෙනවා. නමුත් තානාපති කාර්යාලයක් ඒ කලාපයේ නැහැ. අපි ඉතා ඉක්මනින් තානාපති කාර්යාල අරිනවා. අලුත් වෙළඳපොළ හොයන්න හොඳ තරුණ කණ්ඩායමක් යවනවා. ඒ අවස්ථාවන් සොයා ඒ සඳහා අපේ රජය මැදිහත් වෙනවා.

සැප්තැම්බර් 21 වෙනිදා අපි සියලු දෙනා එකතු වෙලා, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු වෙලා, විශ්වාසය තිබෙන ආණ්ඩුවක්, විශ්වාසය තිබෙන පාලනයක් ගොඩනගමු. ඒ වෙනුවෙන් සැප්තැම්බර් මාසේ 21දා ජයග්‍රහණය කරන ජාතික ජන බලවේගය වෙනුවෙන් වැඩ කරන්න, මැදිහත් වෙන්න, එකතු වෙන්න” යි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

Recent Post