දිනන්න නම් යූඑන්පී ඡන්ද ඕනේ

රට බංකොලොත් වූ විට කුමක් කළ යුතු ද යන්න ව්‍යවස්ථාවේ සඳහනක් නොමැති අවස්ථාවක බංකොලොත් වූ රටේ අභියෝගය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ භාරගත් බවයි අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ.  අමාත්‍යවරයා පවසා සිටින්නේ ජනතාව ඉල්ලා සිටියේ ඡන්දයක් නොව ආර්ථික අගාධයකට වැටී තිබූ රට ගොඩගැනීම බැවින් ජනාධිපතිවරයා එම වගකීම ඉටු කළ බවයි.

“රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය සියලු දේ අපි කරලයි තියෙන්නේ.

මුලින් කිව්වා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට එන්නෙ නැහැ කියලා. ඇප තැන්පත් කිරීමත් සමඟ එය බොරු ප්‍රකාශයක් වුණා. එතුමා නායකත්වය දරපු එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම පැවරිලා තියෙන නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක ප්‍රමුඛ කණ්ඩායම වගේම තවත් අය එතුමාට සහාය දක්වන නිසා ඇප තැන්පත් කළේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉල්ලා අස්වෙලා විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් කළා. දැන් විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට  තරග කරන කොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා මම කාටවත් සහාය දක්වන්නේ නැහැ කියලා. එයාඔය රවට්ටපු පළවෙනි පාර නෙවෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් වන 14 දෙනෙක් ඉන්නේ රනිල් එක්ක. දෙදහස් පහළව ජනාධිපති මැතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව පුටුවේ එතුමාව වාඩි කරවපු මාවත් අනුර යාපා මහතාවත් තමයි මුලින් ම එතුමා පක්ෂයෙන් අයින් කළේ.

පසුගිය මහ මැතිවරණයේ දී පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයින් ඡන්ද පොළට ගියේ නැහැ. ජනාධිපතිවරණයේ දී මේ ඡන්ද තීරණාත්මකයි.තලතා අතුකෝරල මැතිණිය එතුමියගේ පාර්ලිමේන්තු කතාවේ කියනවා ‘අපි අතරේ පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. මේ ජනාධිපතිවරණයේදී අපි ජයග්‍රහණය කිරීමට නම් එක්ව තරග කරන්නට තිබුණා’ කියලා.

මේ එන්නේ පාරම්පරික එක්සත් ජාතික පක්ෂයේ හඬ. මේ පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයින් ලක්ෂ විසි පහක් තමයි මහ මැතිවරණයේ දී ඡන්ද පොළට නොගියේ. තලතා මැතිනිය ඇමතුවේ අර ලක්ෂ විසි පහට. ඊළඟ සති දෙක තුළ මේ රටේ තීරණාත්මක ඡන්ද වෙන්නේ මේ ලක්ෂ විසි පහයි” බව අමාත්‍යවරයා පවසනවා.

Recent Post