ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීම තාවකාලිකව අත්හිටුවයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම් දී තිබුණා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තුන්දෙනෙකු පෙර නියෝග අනුව නිදහස් කිරීමට කටයුතු නොකරන ලෙසයි නීතිපතිවරයා අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිතව දැනුම් දුන්නේ. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී යි.

නඩුව කැඳවුයේ, ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරිකා සිල්වා හමුවේයි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කිරීමෙන් පසු නඩුව කැඳවීමට පියවර ගත්තා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේ, එම නඩුවට අදාළව ඉදිරි පියවර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට උපදෙස් දී ඇති බවයි.

ඒ අනුව පසුගිය 27 වැනිදා නීතිපතිවරයා විසින් නඩුවේ සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ඉදිරි පියවර ගත නොහැකි බැවින්, ඔවුන් නඩුවෙන් නිදහස් කරන ලෙස දන්වා ලිපියක් නිකුත් කළ බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා. විමර්ශන නිලධාරීන් පැවසූවේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් සාරාංශගත වාර්තාවක් නීතිපතිවරයා වෙත යොමු කරමින්, ඒ පිළිබඳ නැවත සලකා බලන ලෙස තමන් ඉල්ලා සිටි බවයි. එම ඉල්ලීම සලකා බලමින් පසුගිය පෙබරවාරි 11 වැනිදා නීතිපතිවරයා නැවත ලිපියක් නිකුත් කරමින්, පසුගිය ජනවාරි 27 වැනිදා නිකුත් කළ ලිපිය අනුව කටයුතු නොකරන ලෙසට මේ වනවිට තමන්ට උපදෙස් දී ඇති බව ප්‍රකාශ කළා.

ඒ අනුව නීතිපතිවරයාගේ එම නියෝගය අද දින ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන බව පැවසූ විමර්ශන නිලධාරීන් එම ලිඛිත වාර්තාව මහේස්ත්‍රාත්වරියට ලබා දුන්නා.

නඩුව මැයි 30 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

Recent Post