ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සිංහල ජාතක කතා පොත් එළි දක්වයි

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අමර් චිත්‍ර කතා ජාතක කතා පොත් පහක සිංහල පරිවර්තන නවම් පුන් පොහෝ දිනය යෙදී තිබූ ඊයේ (12) දින කැලණිය රජ මහා විහාරයේ දී එළි දක්වා තිබුණා. ඉන්දියාවේ විශාලතම චිත්‍ර කතා පොත් ප්‍රකාශන ආයතනය වන අමර් චිත්‍ර කතා ආයතනය විසින් සිංහලට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කරන ලද මෙම ජාතක පොත් ආකර්ෂණීය මාධ්‍යයක් හරහා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වෙත සිසුන් සමීප කරන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූ ‍මෙම උත්සවයේ දී ජාතක කතා පොත් සඳහා ඉහළ ප්‍රතිචාරයක් හිමිවූ බව ඔවුන් සඳහන් කරනවා.

පොත් එළි දැක්වීමට අමතරව මහ කොමසාරිස් කාර්යාලය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ප්‍රදර්ශනය ද කැලණි විහාර පරිශ්‍රයේ දී පවත්වා තිබෙනවා. නව දිල්ලි නුවර ජාතික නූතන කලාගාරය විසින් සම්පාදනය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සහ බෞද්ධ ඉගැන්වීම් දැක්වෙන සම්භාවනීය සිතුවම් එකතුවක් ඇතුළත් වුණා. මෙම ප්‍රදර්ශනය මෙම වසරේ සෑම පොහොය දිනකදීම ශ්‍රී ලංකාව පුරා විවිධ බෞද්ධ විහාරස්ථානයන්හි පැවැත්වෙනු ඇති බව මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

“ජාතක කතා චිත්‍ර කතා පොත් එළි දැක්වීම මෙන්ම ප්‍රදර්ශනය ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් බෞද්ධ වටිනාකම් සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් බෙදා හදා ගන්නා උරුමය ප්‍රවර්ධනය කිරීමට ගන්නා ප්‍රයත්නයන්හි කොටසකි. මෙම මුලපිරීම් බෞද්ධ කලාව සහ සංස්කෘතිය පිළිබඳ අවබෝධය වර්ධනය කරමින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවත්නා දිගු කාලීන සංස්කෘතික සහ ආගමික සබඳතා තවදුරටත් ශක්තිමත් කරයි” යනුවෙන් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කළ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.

Recent Post