සමන් දේවාලයේ ඡන්දය අත්හිටුවයි

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා අද (11) දින පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (10) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම දේවාලයේ තාවකාලික භාරකරු ලෙස පත් කර සිටි එස්.වී. චන්ද්‍රසිංහ එහි නිලවරණය  පැවැත්වීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ.

අදාළ නිලවරණය පැවැත්වීමෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.පී. රත්නායක, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි, එම අමාත්‍යාංශ ලේකම් ඒ.එම්. පී.එම්.බී. අතපත්තු යන අය වළක්වමින් ලබන 20 වැනිදා තෙක් බලපවත්වන පරිදි මෙම අතුරු තහනම් නියෝගයක්  නිකුත් කළා. අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු ලෆාර් තාහිර් සහ අභියාචනාධිකරණ විනිසුරු කේ.ඒම්.එස්. දිසානායකගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු  මඩුල්ලක් හමුවේ එම පෙත්සම කැඳවා තිබෙනවා. එහිදී පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥ  චාමර නානායක්කාරවසම්  සඳහන් කළේ සිය සේවාදායකයා සබරගම මහා සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස පත්කිරීමට එරෙහිව අභියාචනාධිකරණය  හමුවේ රිට්  පෙත්සමක් ගොනු කර ඇති බවයි.

සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ වන මිගාර ජයසුන්දර ඇතුළු පිරිසක් ගොනු කළ එම රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම්කරු එහි  තාවකාලික භාරකරු ලෙස පත්කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් පසුගියදා අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති බවයි ඔහු පවසා තිබුණේ. එහෙත් එම පත්වීම අහෝසි කළ බව පවසමින් ලිපියක් නිකුත් කිරීමට ඉකුත් 06 වැනිදා වග උත්තරකරුවන් කටයුතු කර ඇති  බවත් එය නීතියට පටහැනි බවත් නීතිඥ චාමර නානායක්කාරවසම් සඳහන් කළා. එම රිට් පෙත්සමට අදාළව එම පත්වීම අහෝසි කිරීමේ  නියෝගයක් ලබාදී නැතැයිද  ඔහු පෙන්වා දුන්නා.  හිටපු බස්නායක නිලමේවරයා සබරගමුව මහ සමන් දේවාලයේ වැඩ බාර ගන්නා බවට වූ පුවතක් පසුගිය 05 වැනිදා ජාතික පුවත් පතක පළ වී තිබුණ අතර එසේ තිබියදී සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන නිලවරණය 11වැනිදා පැවැත්වීමට නියමිත බව ඔහු සඳහන් කළා.

එම නිලවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් තම සේවාදයකයා වළක්වාලමින්ද මීට පෙර අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළ බවත් නීතීඥවරයා සඳහන් කළා.

එම රිට් පෙත්සම සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන නඩු විභාගයේ දී තම සේවා දායකයා අදාළ දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කිරීම නීත්‍යානුකූල බවට තීන්දුවක් ලැබුණහොත් මෙම  ඡන්ද විමසීමේ දී තම සේවා දායකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව ලබා නොදීමෙන් ඔහුට අසාධාරණයක් සිදුවන බවටයි නීතිඥ චාමර නානායක්කාරවසම්  සඳහන් කළේ. එම නිලවරණය  මහජනතාවට ඉතා වැදගත් වන අතර දැනට පවතින වාතාවරණය තුළ සාධාරණ නිලවරණයක් පැවැත්වේ ද යන්න පිළිබඳව දැඩි සැකයක් පවතින බව නීතීඥවරයා සඳහන් කළේ. එබැවින් එම නිලවරණය පැවැත්වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරයා ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අධිකරණය ඉදිරියේ ඉදිරිපත් වූ මෙම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අද දින පැවැත්වීමට නියමිත නිලවරණය තාවකාලිකව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ලබන 20 වනදා යකි කැඳවීමට දින නියම කෙරුණා.

නීතිඥ සම්පත් යාලේවත්ත මගින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.පී. රත්නායක, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි, එම අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, හිටපු බස්නායක නිලමේ ජේ.එම්. මිගාර ජයසුන්දර ඇතුළු පිරිසක් නම් කර  සිටියි.

Recent Post