නාමල් ගැන කියවෙන ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

කොළඹ, කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා. එම ගොඩනැගිල්ලේ මහල් 6ක ගින්න පැතිරී ගොස් තිබුණා. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකක යොදවා තිබූ අතර වාර්තා වුණේ එම ගොඩනැගිල්ලේ 35 වන මහලෙන් ගින්න ආරම්භවී ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපති උපදෙස් අනුව මෙම ගොඩනැගිල්ල සම්බන්ධව ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 70ක් අවභාවිත කළ බවට චෝදනා එල්ලවී තිබුණා. රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. ඒ පිළිබඳව කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ, කොටුව, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ East Tower හි 26 – 05 දරන තැන පිහිටි ක්‍රිෂ් සමාගම සමඟ වූ මුදල් ගනුදෙනුවක් සම්බන්ධවයි මෙම නඩුව ගොනුකර ඇත්තේ. 

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේ.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරුවන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි මේ පිළිබඳව විමර්ශන පවත්වා ඇත්තේ. මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණා.

ක්‍රිෂ් සමාගම කොළඹ කොටුව ට්‍රාන්ස්වල්ඩ් චතුරස‍්‍රයේ අක්කර 4.3ක ඉඩමක් 99 අවුරුද්දක බද්දට ලබාගෙන මහල් නිවාස සහ හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බවයි එකල කියවුණේ. අද ගින්නක් ඇතිව තිබුණේ එම ගොඩනැගිල්ලේ යි.

ඡායාරූප : චතුරංග ඒකනායක

Recent Post