පාස්කු ඉරිදා දින ප්‍රහාරයේ විමර්ශන ගැන ගම්මන්පිලගෙන් බලපෑම් එපා

2019 අප්‍රේල් 21වැනි දා පාස්කු ඉරිදා දිනයේ එල්ල කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වත්මන් රජය යටතේ නිසියාකාරව සිදුකරන බව පෙනී යන බව කොළඹ අගරදගුරු පාර්ශ්වයේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසනවා. එනිසා එම විමර්ශනවලට බලපෑම් නොකරන ලෙස උදය ගම්මන්පිල මහතා ඇතුළු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ. මෙම ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අගරදගුරු නිල නිවසෙහි ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව පවසා සිටියේ.

සිරිල් ගාමිණී පියතුමා පවසන්නේ පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාරය සමූල ඝාතනයක් බවයි.

එම සමූල මේ ඝාතනය සිදු වූ අවස්ථාවේ සිට මේ පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබූ අතර පසුව චැනල් ෆෝ නාළිකාව අලුත් තොරතුරු රැසක් අනාවරණය කළ බව උන්වහන්සේ පවසනවා. පාර්ලිමේන්තු විවාදවලදී අලුත්ම කරුණු රැසක් අනාවරණය කෙරුණ නමුත් නිසිලෙස විමර්ශන සිදු කෙරුණේ නැති බව සිරිල් ගාමිණී පියතුමා පවසනවා.

දැන් යලිත් විමර්ශන ආරම්භ කර තිබෙන අතර එම විමර්ශනවලට බලපෑම් නොකරන ලෙස උන්වහන්සේ  දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිදහස දුන්නම ඒ අය අවශ්‍ය පර්යේෂණ ස්වාධීනව සිදු කරයි. ඒ අයට අවශ්‍ය සම්පත් දෙන්න වෙනවා. මේ පිළිබඳව විමර්ශන ගැන දේශපාලනඥයන් නොයෙකුත් දේ කියනවා අපි පහුගිය දවස්වල දැක්කා. මේක දේශපාලනඥයින්ගේ කාර්යයක් නෙවෙයි. වින්දිතයින්ගේ පැත්තෙන් මේකෙ සත්‍යතාව සොයා ගැනීමයි විය යුත්තේ. අවශ්‍ය විමර්ශන නිසියාකාරව සිදුවිය යුතුයි. ඒක CID එකේ කාර්යභාරයක්. මේක දේශපාලනඥයන්ගේ කාර්යභාරයක් නෙවෙයි. ඒ වගේම දේශපාලනඥයන්ට හෝ වෙනත් කාගේ හෝ බලපෑම්වලට යටත්ව විමර්ශන කඩාකප්පල් වෙන්න ඉඩ තියන්න එපා කියලා අපි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.

දේශපාලනඥයන් මේ විමර්ශනවලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ. විමර්ශනයට බලපෑම් ඇති කරනවා කියන්නේ අපරාධකාරයින් පිළිබඳ තොරතුරු වසන් කිරීමට උත්සාහ කිරීමක්.

ගම්මන්පිල මහතාට කියන්නේ එතුමාගේ වගකීම සහ කාර්යභාරය ඉටු කරගෙන ඉන්න. එහෙම නැතුව පටන් අරන් තියෙන කරගෙන යන විමර්ශන ගැන කතා කරන්න එතුමා විශේෂඥයෙක් නොවේ. ඒක තීරණය කරන්න ඕනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. අනිත් කාරණය තමයි දැන් මේ වින්දිතයන්ට නැති මහ ලොකු කැක්කුමක් ගම්මන්පිල මහතාගේ ප්‍රකාශවලින් දැක්කා.

ඒ මහතා මෙහෙම කෙනෙක්ව ගෙන්නන්න යනවා කියලා උපකල්පනය කරනවා. ඇත්තෙන්ම සිදු විය යුත්තේ කාව ගෙන්නලා හරි මේ විමර්ශනය සිදු කරන එකයි. ඊට අවශ්‍ය මිනිස්සුන්ව සාක්ෂි සඳහා කැඳවන්න ඕනේ.

ඉමාම් කමිටු වාර්තාව ගැන ගම්මන්පිල මහතා කියනවා. ඒ ඉමාම් කමිටුව පත් කරලා තිබුණේ චැනල් ෆෝ නාළිකාවේ විකාශනය වූ වැඩසටහන පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා නිර්දේශ ඉදිරිපත් කරන්න. නමුත් අපි දැක්ක හැටියට ඒ වාර්තාවේ තියෙන්නේ පිල්ලියාන්ගේ සහ සුරේෂ් සලේගේ කටඋත්තර සහ නැත්තම් සාක්ෂි සටහන් පමණයි. ඒකට මූලිකවම අදාළ වූ අසාත් මවුලානාගේ කිසිම සාක්ෂි විමසීමක්, කටඋත්තර ගැනීමක් හෝ ඔහුගේ පැත්තෙන් ප්‍රශ්න කිරීමක් සිද්ධ වෙලාම නෑ. හරිනම් කරන්න තිබුණේ අසාත් මවුලානාගෙන් මේ ගැන විමසන එකයි.

ඔහු තමයි චැනල් ෆෝ නාළිකාවට මේ තොරතුරු අනාවරණය කරන්නේ. එක්කෝ ඔහු ගෙන්නලා හරි වෙනත් විදිහකින් හරි ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුයි. ඒක කරන්නේ නැතුව වෙනත් පුද්ගලයින්ගෙන් විතරක් කටඋත්තර සටහන් කර තීරණ ගන්න බැහැ. අදාළ පුද්ගලයාගෙන් සාක්ෂි සටහන් කරගන්නේ නැතුව කොහොමද විමර්ශනයක් කරන්නේ. ඒක තමයි ඉමාම් කමිටුවේ වෙලා තියෙන්නේ. ඉතින් අපි කොහොමද ඒක පිළිගන්නේ. ඒ නිසා අපි ඒ වාර්තාව පිළිගන්නේ නැහැ. ඒ වාර්තාව පිළිගන්න බැහැ.

තවමත් නිසි විමර්ශනය කරපු නැති නිසා අනිවාර්යෙන්ම නිසි විමර්ශනය කළ යුතුයි. ඒකට ගම්මන්පිල මහත්මයා හෝ වෙනත් කවුරුත් කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විමර්ශනය කරනවා කියන්නේ සත්‍ය සොයන එකයි. එහෙම නැතිව කාව හරි වැරදිකාරයා කරනවා කියන එක නෙවෙයි. ඒ නිසා මේකට කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. මේ රටේ සාධාරණත්වය, යුක්තිය, සත්‍ය සොයා යන මිනිසුන් හැටියට අප කළ යුත්තේ සාධාරණ පිළිවෙලට විමර්ශනවලට අපේ සහයෝගය ලබා දීමයි.

අපි දැන් අවුරුදු පහමාරක් හයක් තිස්සේ ඉවසීමෙන් ඉන්නවා මේ විමර්ශන සිදුවනතුරු. ඒක හින්දා අපි ගම්මන්පිල මහත්තයටත් කියන්නේ මේ විමර්ශන නිම වෙනතුරු ඉවසීමෙන් ඉන්න කියන එක. විමර්ශනවලින් පස්සේ යම් ප්‍රශ්නයක් තිබේ නම් අපිට පුළුවනි ඒ පිළිබඳ ප්‍රශ්න කරන්න. අපිට තේරෙන දේ නම් විමර්ශන කරගෙන යනකොට ඊට බාධා කරනවා කියන්නේ ඒකෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එකයි. විමර්ශන නවත්තන්න ඕනේ යම් කොටසක් විමර්ශනයෙන් අයින් කරගන්න ඕනෙ වගේ දෙයක් අපිට හැඟෙනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. විමර්ශනවලට ඉඩ දීලා ඉන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් පස්සේ බේරගන්න පුළුවන්.

අලුතෙන් විමර්ශන ආරම්භ වෙලා තියෙන හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් මේක අවසානයට ළඟා වෙයි කියලා.

දැනට තිබෙන වාතාවරණය සලකා බලද්දී අපිට ඒ පිළිබඳ විශ්වාසයක් තියෙනවා වත්මන් රජයෙන් මේකට සාධාරණ විමර්ශනයක් සිදු කරලා මේ විමර්ශන හරියට සිදු කරයි කියලා. අපිට තවම කොහෙවත් වාර්තා වෙලා නැහැ විමර්ශනවලට රජයේ කොහෙන්වත් බලපෑම් තියෙනවා කියලා. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ස්වාධීනත්වය නිදහස ලබා දීලා තියෙනවා කියන එක තමයි අපිට දැනට පේන්නේ.

රජයේ පාර්ශ්වයෙන් කරන්න ඕන දේ තමයි මේ විමර්ශනවලට අවශ්‍ය කරන නිදහස ලබා දෙන එක. ඇඟිලි ගහන්නෙ නැතුව ඉන්න එක. අවශ්‍ය කරන සම්පත් සහ සහයෝගය ලබා දෙන එක. ඉතුරු ටික අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව බලා ගනීවී. මේ වෙනුවෙන් අපිට විශ්වාසයක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි සටන අත්හරිනවා කියලා. සත්‍ය හෙළිදරව් වෙනතුරු අපි මේ පිළිබඳ සටන් කරනවා.

කොයි තරම් කාලයක් විමර්ශනවලට අවශ්‍යයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ විමර්ශන ඉදිරියට කරගෙන යාමයි. ඉදිරියට යනවනම් ඒකට බලපෑමක් වෙන්නෙ නැත්නම් එච්චරයි” යනුවෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළා.

Recent Post