ව්‍යාපාරික හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 82 වියේ පසුවුණා.

හැරී ජයවර්ධන ලෙස බොහෝ දෙනා හඳුන්වන දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන උපන්නේ 1942 අගෝස්තු 17 දිනයි. ඒ ජා-ඇල ප්‍රදේශයේ දී යි.

හැරී ජයවර්ධන තේ ව්‍යාපාරිකයකු ලෙස කොළඹ පිහිටි බ්‍රිතාන්‍යයට අයත් තේ අපනයන ආයතනයකට සම්බන්ධව ව්‍යාපාරික ලෝකයට එක්ව සිටි අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ පාලන සමයේ දී ශ්‍රී ලංකාවේ තේ අපනයන ඒකාධිකාරය පාලනය කළ තේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසයි කටයුතු කළේ.

1977 සැප්තැම්බර් 7 වන දින තේ අපනයනය කිරීම සඳහා Stassen Exports Limited ආරම්භ කර තිබෙනවා.

1992 දී ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ ප්‍රමුඛතම ආයතනය සේ පසුව සලකනු ලබන ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම (DCSL) සමඟ එක්වුණේ එවකට කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ගනුදෙනුවක් හරහා යි.

හැරී ජයවර්ධන මියයන විට මෙරට සමාගම් ගණනාවක ප්‍රධාන කොටස් හිමියෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ද වුණා. වැවිලි සමාගම් ගණනාවක්, සංචාරක හෝටල් ගණනාවක්, තේ අපනයන සමාගම් සහ ප්‍රමුඛ වාණිජ බැංකු දෙකක්ද ඒ අතර වෙනවා. ඊට අමතරව පශු සම්පත් සමාගම්, රක්ෂණ සමාගමක් ආදියත් ඔහු සභාපතිත්වය දැරූ සමාගම් අතරට එක්වෙනවා.

හැරී ජයවර්ධන ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලබා දෙන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධුරය දැරූ අතර ඊට පෙර ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ජාත්‍යන්තර වෙළෙඳ හා විදේශ ආයෝජන පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාද වුණා.

Recent Post