මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියම කර තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමකින් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මුදා හැරීමට නියම වුණේ.
සැකකාර යෝෂිත රාජපක්ෂ ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කර තිබෙනවා.
ඇප නියෝගයට අනුව සෑම මසකම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) වාර්තා කළ යුතු යැයි සැකකරුට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කළා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පසුගිය 25 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බෙලිඅත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන යෝෂිත රාජපක්ෂව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඒ එදිනම සැකකාර යෝෂිත රාජපක්ෂ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල නිවස වෙත ඉදිරිපත් කෙරුනු පසුවයි. අනතුරුව ඔහු අද දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකළා.
පසුගිය 25 වෙනිදා යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියා. එහෙත් ඊට එරෙහිව කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්සි ද්ධියට අදාළ විමර්ශන කරන බැවින් ඇප ඉල්ලීමට තරයේ විරෝධය පළ කර තිබුණා.
නීති විරෝධී ලෙස උපයාගත් ආදායම් වලින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂයට එරෙහිව විමර්ශනයක් පැවැත්වූ අතර ඊට අදාළවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ.
2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතට වැටෙන වැරදි සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා සිටිමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව ඉදිරි කටයුතු කිරීම සඳහා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පසුගිය 25 වෙනිදා පවසා සිටියේ.