අද දවසේ කොළඹ දී සැමරූ ඉන්දීය ජනරජ දිනය

කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අද (26) කොළඹ දී 76 වන ඉන්දීය ජනරජ දිනය සමරන ලැබුවා. ලොව විශාලතම ලිඛිත ව්‍යවස්ථාව වන ඉන්දීය ව්‍යවස්ථාව බලාත්මක කෙරුණේ 1950 වසරේ ජනවාරි 26 වන දින යි. ඉන්දීය ව්‍යවස්ථාවේ පූර්විකාව විසින් ඉන්දියාව ස්වෛරී, සමාජවාදී, අනාගාමික, ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සිය ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස් නිල නිවස වන ඉන්දියා හවුස් හිදි පැවති සැමරුම් උළෙලේදී වැඩ බලන මහ කොමසාරිස් වෛද්‍ය සත්‍යාංජල් පාණ්ඩේ විසින් ඉන්දීය ධජය ඔසවා හමුදා උත්තමාචාර පිළිගනු ලැබුවා. වැඩ බලන මහ කොමසාරිස් ඉන්දීය ජනාධිපතිතුමියගේ ජනරජ දින පණිවිඩයේ උපුටාගැනීම් ද ඉදිරිපත් කර තිබුණා.

ඉන්දියාවේ පොහොසත් විවිධත්වය නර්තනාංග සහ සංගීත ඉදිරිපත් කිරීම් සමඟින් සමරමින් ශ්‍රී ලංකා නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ගීත ඉදිරිපත් කළ අතර මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ සංස්කෘතික වැඩසටහනක් ද අද දින පවත්වනු ලැබුවා. මෙරට පිහිටි Indian Cultural Association (ICA) විසින් සංවිධානය කළ දේශානුරාග ගී ඉදිරිපත් කිරීමක් විවිධ ප්‍රාන්ත, එකම ඉන්දීය හැඟීමයන තේමාව යටතේ ඉන්දීය ප්‍රජාවේ දරුවන් එකට එක් කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් විසින් ‘වන්දේ මාතරම්’ ගීතය ගැයූ අතර ඊට නර්තනාංගයක්ද එක්කර තිබුණා. මෙම උත්සවය සඳහා ඉන්දීය ප්‍රජාවේ සාමාජිකයන් සිය ගණනක් සහභාගී වූ බවයි කියන්නේ.

අද උදෑසන වැඩ බලන මහ කොමසාරිස් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියස දී ශ්‍රී ලංකාවේදී මරණයට පත් වූ ඉන්දීය සාම සාධක හමුදා සාමාජිකයින් වෙනුවෙන් උපහාර දක්වා තිබෙනවා.

මෙවර ජනරජ දිනය ඉන්දීය ව්‍යවස්ථාව අරඹා වසර 75ක් සපිරීම සනිටුහන් කරන අතර එහි තේමාව වන්නේ स्वर्णिम भारत – विरासत और विकास (ස්වර්ණිම් භාරත්විරාසත් ඕර් විකාස්) යන්නයි. ඉන්දියාවේ උරුමය සහ සංස්කෘතික සාරධර්ම ආරක්ෂා කර ගනිමින් නවීකරණය සහ සංවර්ධනය වීමට තරුණ ඉන්දියානුවන්ගේ අධිෂ්ඨානය මෙම තේමාව තුළින් පිළිඹිබු කෙරෙන බව පැවසෙනවා.

මේ සමඟම හම්බන්තොට සහ යාපනය ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් කාර්යාල සහ මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද 76 වන නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ උත්සව සංවිධානය කර තිබුණා.

Recent Post