අයථා ලෙස මුදල් වැය කළ වරාය නිලධාරියෙක් ගැන පැමිණිල්ලක්

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ විසින් ඊයේ (23) දිනැතිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවෙ කොමසාරිස් වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපියෙන් ඔහු සඳහන් කර ඇත්තේ හිටපු වරාය කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත විසින් ඔහුගේ ධුර කාලය තුළ දී සිදුකර ඇති බව කියන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසයි. Sri Lanka Port Management and Consultancy Services (Private) Limited (SLPMCS) ආයතනය සමඟ ඇතිකරගෙන ඇති බව සඳහන් එකඟතා අනුව විවිධ කාරනා යටතේ විශාල මුදල් ප්‍රමාණයක් අයථා ලෙස වැයකර ඇති බවයි. උපදේශකයන් බඳවා ගැනීම, වාහන සහ ඉන්ධන දීමනා ලබා ගැනීම, නිල නිවසේ ජල බිල්පත් ගෙවීම ආදී ලෙස විශාල මුදල් ප්‍රමාණයක් හිටපු වරාය කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත විසින් සිදුකර ඇති බව පවසන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ සිය ලිපියෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව වෙත යොමුකළ ලිපිය සම්පූර්ණයෙන් පහත පළවේ.

 

“ 2025.01.23

කොමසාරිස්තුමා,
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව,
මලලසේකර මාවත,
කොළඹ 07.

ගරු කොමසාරිස්තුමනි,

හිටපු වරාය කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත මහතා විසින් ඔහුගේ ධූර කාලය තුළ සිදු කර ඇති දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීම.

1. වරාය හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ විසින් ඔහුට උපදෙස් ලබා ගැනීම සඳහා නිසි අනුමැතියකින් තොරව, අනීතිකව හා වංචනිකව උපදේශක‍‍යෙකු පත්කර ගනිමින් මසකට රුපියල් 701,948.72 මුදලක් 2024 මාර්තු මස සිට SLPMCS පුද්ගලික සමාගමට ගෙවීමට එකඟත්වය පළ කිරීම. එම උපදේශකවරයා නිල වශයෙන් ඉවත් නොකර තිබියදී 2024 සැප්තැම්බර් මාසයෙන් පසුව සේවය අතහැර ගොස් ඇති අතර ඔහු වරාය තුල සේවය කල බවට සාක්ෂි කිසිවක් ද නැත. උපදේශකවරයෙකුගේ අවශ්‍යතාවය හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වරාය සභාපතිවරයාට දැනුම් දී ඇත්තේ දින රහිත ලිපියකිනි. වැඩ බලන සභාපති වරයාගේ සටහනට අනුව එම දින‍ය 2024.03.06 දින බව අනුමාන කල හැක. උපදේශකවරයා බඳවා ගන්නා ලද SLPMCS සමාගමට එම ලිපිය ලැබී ඇත්තේ 2024.03.12 දින වේ.නමුත් උපදේශක වෙත නිකුත් කර ඇති පත්වීම් ලිපිය SLPMCS ආයතනය මගින් 2024.03.07 දින නිකුත් කර ඇත. එම පත්වීම් ලිපිය උපදේශක විසින් 2024.03.11 දින බාර ගෙන ඇත. උපදේශක සඳහා ඔහු සේවය කලා යයි කියනු ලබන මාස 07 ක කාලය සඳහා SLPMCS සමාගම ඉල්ලා ඇති මුදල රුපියල් 4,719,219.15 කි. වරාය අධිකාරිය ගෙවා ඇති මුදල රුපියල් 3,332,769.23 කි. මෙම බඳවා ගැනීම හා මුදල් ගෙවීම් නීත්‍යානුකූල නොවන බැවින් කූට ලේඛණ සකස් කිරීම හා මූල්‍ය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත මහතා ඇතුලු වගකිව යුතු කරන ලද සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිම.

2. 2024 ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසුව වරායට සම්බන්ධ පුද්ගලික සමාගමක් වන SLPMCS සමාගම වෙත වරාය මගින් ඉදිරියේදී ලබා ගන්නා සේවා සඳහා යැයි සඳහන් කරමින් නීති විරෝධි ලෙස වරාය අධිකාරියේ මුදලින් රුපියල් ලක්‍ෂ 250 ක මුදලක් ඉහත සමාගමට නිදහස් කිරීම. එම මුදල් නිදහස් කිරීමට හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ වරයා අනුමැතිය ලබා දී ඇත.

SLPMCS සමාගම මගින් වරාය ලබා ගන්නා ලද සේවා සඳහා ඉදිරිපත් කරනු ලබන වවුචර් පත් වලට අනුව මුදල් ගෙවීම නීත්‍යානුකූල වුවත් අනාගත සේවා අපේක්ෂාවෙන් අත්තිකාරම් ලෙස මුදල් නිකුත් කිරීම නීති විරෝධි කටයුත්තකි. එම මුදල් ජනාධිපතිවරණ කාලය තුල දේශපාලන
උවමනා සඳහා යොදා ගත්තා ද යන බරපතල සැකය අප තුල පවතින බැවින් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටීම.

3. වරාය හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ පරිහරනය සඳහා කුලී පදනමින් ලබා ගන්නා ලද WPCAR-2154 හා WPCAG-5252 දරන මෝටර් රථ දෙක 2023 ජුනි සිට ඔහුගේ කාර්යාලය වෙත වෙන් කර ගෙන පරිහරනය කර ඇත. WPCAR-2154 මෝටර් රථයට 2024 ඔක්තෝම්බර් දක්වා කුලිය ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් 2,082,300.00 ක මුදලක් ගෙවීම් කර ඇත. WPCAG-5252 මෝටර් රථය සඳහා 2024 සැප්තැම්බර් දක්වා වරාය මුදලින් රුපියල් 8,349,000.00 ක මුදලක් ‍කුලිය ලෙස ගෙවා ඇත. මේ ආකාරයට මසකට රුපියල් 124300.00 ක් හා 556600.00 ක මුදලක් වැය කරමින් හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ වරයා කුලී පදනමින් ලබා ගන්නා ලද මෝටර් රථ දෙකක් පරිහරනය කර ඇති අතර එය වරාය මුදල් අවභාවිතා කිරීමකි. මේ පිළිබදව වැඩි දුරටත් කරුණු සොයා බලන ලෙසත් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටීම.

4. හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂතුමා‍‍ගේ කාර්යාලය සඳහා වෙන්කරන ලද WPCAR-2154 දරණ මෝටර් රථය සඳහා 2023 ජූනි මස සිට 2024 දෙසැම්බර් මස දක්වා මාස 19 ක කාලයක් සඳහා ලබා ගෙන ඇති ඉන්ධන ලීටර් ප්‍රමාණය 3424.87 වන අතර එය මසකට සාමාන්‍ය අගය ලීටර් 180.25 කි. ඒ සඳහා දරා ඇති මුදල රුපියල් 1190431.33 කි. එසේම හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත මහතා‍ගේ පරිහරනයට යොදා ගෙන ඇති WPCAG-5252 මෝටර් රථය සඳහා 2023 ජූලි මස සිට 2024 සැප්තැම්බර් දක්වා මාස 15 ක කාලයක් සඳහා ලබා ගෙන ඇති ඉන්ධන ලීටර් පුමාණය 4006.91 වන අතර එය මසකට සාමාන්‍ය අගය ලීටර් 267.12 කි. වරාය අධිකාරිය ඒ සඳහා දරා ඇති මුදල රුපියල් 1,663,563.63 කි. හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වරාය මගින් කුලී පදනම මත ලබා ගන්නා ලද මෝටර් රථ දෙකක් පරිහරනය කරමින් ඉහත සඳහන් කර ඇති පරිදි ඉන්ධන ප්‍රමාණයන් වැය කර ඇත්තේ වරාය පරිශ්‍රයේ සිට කිලෝ මීටර් 3 කටත් අඩු දුරකින් ඔහු වෙත වරාය මගින් ලබා දෙන ලද නිල බංගලාවේ සිට රාජකාරියට වාර්තා කිරීම සඳහා වේ. බැලූ බැල්මට හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයා දූෂණය නැමති වරද සිදු කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටීම.

5. හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත මහතා වෙනුවෙන් වෙන් කරන ලද කොළඹ අළුත් මාවතේ පිහිටි ඔහුගේ බංගලාවේ මාසික විදුලි බිල 2023 ජූනි රුපියල් 58,352.82 ක්, ජූලි රුපියල් 78,635.90 ක්, අගෝස්තු රුපියල් 61,682.79 ක්, සැප්තැම්බර් රුපියල් 74,318.97 ක්, ඔක්තෝබර් රුපියල් 66,812.6 ක්, නොවැම්බර් රුපියල් 82,304.18 ක්, දෙසැම්බර් රුපියල් 88,381.54 ක් 2024 ජනවාරි රුපියල් 87,687.18 ක්, පෙබරවාරි රුපියල් 92,250.25 ක්, මාර්තු රුපියල් 118,676.90 ක්, අප්‍රේල් රුපියල් 88,117.95 ක් මැයි රුපියල් 104,518.00 ක්, ජූනි රුපියල් 95,590.77 ක්, ජූලි රුපියල් 74,235.90 ක්, අගෝස්තු රුපියල් 92,369.23 ක්, වන අතර එම විදුලි බිල්පත් හ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ගෙවීමට කටයුතු කර ඇත. අමාත්‍යවරුන් පවා ඔවුන් වෙත ලබා දී ඇති ඇමති බංගලා වල විදුලි බිල්පත් පුද්ගලිකව ගෙවීම් කරන විට වරාය කලමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ විදුලි බිල වරාය අධිකාරිය මගින් ගෙවා දැමීම රජයේ නීතිරීති වලට පටහැනි බවට පෙනී යන බැවින් ඒ පිළිබඳව විමර්ශණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටීම.

6. හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත මහතා සඳහා වෙන් කරන ලද බංගලාවේ ජල බිල් පත පහත පරිදි වේ . 2023 ජූනි රුපියල් 17,808.64, ජූලි රුපියල් 12,889.43, අගෝස්තු රුපියල් 21.093.04, සැප්තැම්බර් රුපියල් 29,571.99, ඔක්තෝබර් රුපියල් 20,305.15, නොවැම්බර් රුපියල් 17,434.6 දෙසැම්බර් රුපියල් 21,838.50, 2024 ජනවාරි රුපියල් 27,544.46, පෙබරවාරි රුපියල් 58,948.98, මාර්තු රුපියල් 50,585.93, අප්‍රේල් 32,816.49, මැයි රුපියල් 30,530.34, ජූනි රුපියල් 22,468.20, ජූලි රුපියල් 24,319,80 අගෝස්තු රුපියල් 29,495.08 ක් ද වේ. එම සියලු ජල බිල්පත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ගෙවීමට කටයුතු කර ඇත.  කළමණාකාර අධ්‍යක්‍ෂවරයා සඳහා ඒ ආකාරයට ජල බිල් සඳහා මාසිකව මුදල් ගෙවීමට රාජ්‍ය ආයතනයකට හැකි ද යන්න සොයා බලන ලෙස ඉල්ලා සිටීම.

7. හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත මහතාගේ බංගලාව සඳහා ලබා දී ඇති ස්ථාවර දුරකථන සඳහා 2024 ජනවාරි රුපියල් 6,020.65 ක්, පෙබරවාරි සඳහා රුපියල් 5,510.68 ක්, මාර්තු සඳහා රුපියල් 5,190.00 ක් අප්‍රේල් සඳහා රුපියල් 5,269.32 ක් මැයි සඳහා රුපියල් 5,115.00 ක් ජූනි සඳහා රුපියල් 5,265.00 ක්, ජූලි සඳහා රුපියල් 5,190.00 ක්, අගෝස්තු සඳහා රුපියල් 5,527.83 ක්, සැප්තැම්බර් සඳහා රුපියල් 10,043.33 ක්, ඔක්තෝබර් සඳහා රුපියල් 16,448.31 ක්, නොවැම්බර් සඳහා රුපියල් 16,390.00 ක් දෙසැම්බර් සඳහා 16,390.00 ක් වශයෙන් වූ බිල්පත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ගෙවීමට කටයුතු කර ඇත. රජයේ නීතිරීතින්ට අනුව ඒ ආකාරයෙන් දුරකථන බිල්පත් සඳහා  ගෙවීමක් කල හැකිද යන්න සොයා බලන ලෙස ඉල්ලා සිටීම.

8. SLPMCS සමාගම හරහා මසකට රුපියල් 125,000.00 මුදලක් වැය කර හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ නිල නිවසේ මුළුතැන්ගෙයි කටයුතු සඳහා සේවකයෙකු බඳවා ගෙන ඇත. එවැනි හිමිකමක්  ඔහුගේ නිළයට අනුව පවතීද යන්න සොයා බලන ලෙස ඉල්ලීම.

9. පුහුණුවෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියාව ලබා දීමේ පදනමින් කළමණාකරන අභ්‍යාසලාභීන් 50 දෙනෙකු බඳවා ගැනීමේදී හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයා අධ්‍යක්‍ෂ මණ්ඩලය නොමග යැවීමටත්, සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර අධ්‍යක්‍ෂ මණ්ඩලය අපහසුතාවයට පත් කිරීමටත්, අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණ උල්ලංඝණය කරමින් ක්‍රියා කිරීමටත් කටයුතු කර ඇත. එහිදි ටෙන්ඩර් කැඳවීමකින් තොරව ප්‍රශ්ණ පත්‍ර සකස් කිරීම හා විභාගය පැවැත්වීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තෝරා ගෙන ඇති අතර ඒ  සඳහා රුපියල් මිලියන 2.1 ක් ගෙවා ඇත. අවසන් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් නම් කරන පිරිසක් විසින් පැවැත්විය යුතු බවට වූ අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණය හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයා විසින් උල්ලංගණය කර ඔහුගේ මූලිකත්වයෙන් ඉහත බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්‍ෂණයක් පවත්වා ඇත. කළමණාකරන අභ්‍යාසලාභීන් 50 දෙනෙකු බඳවා ගැනීම සඳහා DMS අනුමැතිය ලබා ගත යුතු උවත් එවැන්නක් සිදු කර නැත. කළමණාකරන අභ්‍යාසලාභීන්  50 ක්  බඳවා ගැනීමට අදාලව අධ්‍යක්‍ෂ මණ්ඩල පත්‍රිකා අවස්ථා තුනකදී ඉදිරිපත් කර එලෙස බඳවා ගැනීමට අනුමැතිය ලබා ගෙන ඇත. මෙම අවිධිමත් ක්‍රියාදාමය කිසියම් විශේෂ පිරිසකට පත්වීම් ලබා දීමේ අරමුණින් සිදු කර ඇති බව පෙනී යන කරුණකි. මේ ආකාරයට එකවර කළමණාකරන අභ්‍යාසලාභීන් 50 ක් වරායට බඳවා ගැනීම මගින් වරාය තුල කාර්මික සාමය බිඳවැටීමටද හේතු විය හැක. මෙම අවිධිමත් බඳවා ගැනීම් සම්බන්ධයෙන් හා මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයා සෘජුව වග කිව යුතු අතර ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂනයක් සිදු කර දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටීම.

10. 2025 ජනවාරී 04 වන දින නැගෙනහිර බහලු පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නිමාවට පත්විය යුතුව තිබූ නමුත් මේ වන විට අවසන් වී ඇති ප්‍රමාණය 43%කි. ඊට හේතු වී ඇත්තේ හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ දුර්වල කළමණාකාරිත්වය හා නිවැරදි නොවන තීන්දු තීරණ ගැනීම වේ. විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජිනේරු තුමිය හේතු රහිතව එම ව්‍යාපෘතියෙන් ඉවත් කර ඇත. පර්යන්තය ඉදි කිරීම සඳහා වැලි පිරවීමේදි මඩ ඉවත් නොකර එම කටයුතු සිදු කර ඇති බවට වූ නිගමනය මත මඩ ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 2585 ක මුදලක් අමතරව වැය කර මීටර් 600 ක් දිගට හා මීටර් 15 ක් උසට වැලි ගොඩ ගැසීමක් සිදු කර ඇති අතර මාස 6 කට වැඩි කාලයක් ගොඩ ගසන ලද  වැලි කන්ද මගින් එම කාලය තුල අපේක්‍ෂා කල පරිදි කිසිදු ආකාරයකින් මඩ ඉවත්ව ගොස් යතාවත් වීමක් සිදුව නැත. ඒ අනුව වැයකරන ලද රුපියල් මිලියන 2585 ක මුදල අපතේ ගොස් ඇත. මේ වන විට ස්වයංක්‍රීය දොඹකර 20 ක් නැගෙනහිර පර්යන්තයට ගෙනැවිත් ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අංගනය මෙතෙක් සකස් කර නැත. කෝටි ගණනක් වටිනා එම යන්ත්‍ර මාස ගණනාවක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන තිබීමෙන් එම යන්ත්‍ර වල නිදහස් වගකීම් කාලය ක්‍රමාණුකූලව අවසන් වීමත් වරායට ඩොලර් මිලියන ගණනින් අහිමි වීමත් බරපතල ඛේදවාචකයකි. එසේම හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයා නැගෙනහිර පර්යන්තයට අදාල උපකරණ මිලදී ගැනීම් ක්‍රියාවලිය තුල අවස්ථා තුනකදී ඒවායේ තත්ව පරීක්‍ෂාව සඳහා විදෙස් ගතව ඇත. නමුත් ඔහු විෂයානුබද්ධ දැනුමක් සහිත අයෙකු (ඉංජිනේරුවරයෙකු) නොවන අතර ඊට සුදුසු පිරිසක් ඒ සඳහා යොමු නොකිරීම බලවත් වරදකි. මේ ආකාරයට නිසි වගකීමක් දැරිය නොහැකි හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වැනි අය මිලියන ගණනක් වටිනා උපකරණ වල තත්ව පරීක්‍ෂාව සඳහා යොමුවීම මගින් දැනට ගෙන්වා ඇති  උපකරණ වල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල සැකයක් පැන නැගී ඇත. නැගෙනහිර බහලු පර්යන්තය සඳහා මේ වන විට ග්‍රැන්ටි දොඹකර 06 ක් ගෙනවිත්  වැඩ අවසන් කරන ලද මීටර් 540 ක කොටසේ මහෙයුම් කටයුතු සිදු කරමින් ඇත. එම කටයුතු සිදු කරනු ලබන්නේ ඉතාමත් අපහසුවෙන් වන අතර ඊට හේතුව ග්‍රැන්ටි දොඹකර 06 ක් මෙහෙයුම් කිරීමට ප්‍රමාණවත් ඉඩකඩක් නොමැති වීමයි. එසේ තිබියදී ඇණවුම් කර ඇති තවත් ග්‍රැන්ටි දොඹකර 03 ක් නැගෙනහිර පර්යන්තයට වෙත මේ වන විට පැමිණ ඇති අතර ඒවා පැමිණිමත් සමග දැනට ඉදි කිරීම් අවසන් කර ඇති මීටර් 540 ක පර්යන්ත කොටස වෙත නෞකා යොමු කිරීම හා මහෙයුම් කටයුතු සිදු කිරීමට බරපතල ගැටලු මතුවේ. ‍මේ ආකාරයට නැගෙනහිර බහලු පර්යන්තයට අදාලව හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ වැරදි සහගත මැදිහත්වීම, නොසැලකිල්ල කළමණාකරන දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට දිනපතා රුපියල් මිලියන ගණනින් මේ වන විට අහිමි වෙමින් පවතී. ඔහුට අමතරව එම ගැටලු සහගත තත්වය නිර්මාණය කිරීමට ‍හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරුන් වන ප්‍රේමචන්ද්‍ර මහතා හා සුසන්ත අබේසිරිවර්ධන  මහතාද වග කිව යුතු වේ. නැගෙනහිර බහලු පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන පර්යන්තයක් බවට 2021 වසරේදී තීරණය කිරීමෙන් පසු මේ දක්වා ගතව ඇති කාලය වසර 4 කි.  මෙම කාලය තුල මහජන මුදල් කෝටි ගණනක් වැය කලත් එහි ප්‍රතිලාභ ජනතාවට මේදක්වා නිසි පරිදි ලැබී නැත. නැගෙනහිර පර්යන්තය ඉදිකිරීමේ සමස්ත ක්‍රියාවලිය හා උපකරණ මිලදී ගැනීමේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කරන ලෙසත් ඊට වගකිව යුතු හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරුන් ඇතුලු සියලු දෙනාට එරෙහිව මේ සම්බන්ධයෙන් උපරිම දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටීම.

11. ත්‍රිකුණාමල වරායට අයත් ඉඩම් හෙක්ටයාර් 325 ක පමණ ප්‍රමාණයක් සෝලා ව්‍යාපෘති කීපයක් සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව සමාගම් කීපයකට ලබා දීමට පැවති පාලනාධිකාරිය කටයුතු කර ඇත. එම කටයුත්තට හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත මහතාගේ සෘජු මැදිහත් වීම මත සිදුව ඇති අතර එම ඉඩම් අදාල ව්‍යාපෘති සඳහා නිකුත් කිරීමේදී නියමිත වටිනාකම් අයකර

ගත්තාද යන්නත්, ටෙන්ඩර් කැඳවීමට කටයුතු නොකලේ ඇයිද යන කාරණා ගැටලු සහගත බැවින් ඒ පිළිබඳව විමර්ශණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටීම.

12. බඳවා ගැනීමේ පටිපාටියට අනුව මාධ්‍ය කොට්ඨාශය සඳහා ග්‍රෆින් ඩිසයිනර් තනතුරු ඇත්තේ එකකි. පුරප්පාඩු වූ එම තනතුර සඳහා අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා අවස්ථාව ලබා දී ඇතත් හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත මහතාගේ බලපෑම මත සුදුසුකම් ලැබූ අයදුම්කරුවෙකුට ‍එම අවස්ථාව අහිමි කර ඇත. අනතුරුව එම තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම
මත බාහිර බඳවා ගැනීමක් සිදු කර ඇත. ඉන්පසු අභ්‍යන්තර බඳවා ගැනීම් සිදු කිරීමේදී අසාධාරණයට පත් සේවකයා විසින් හිටපු අමත්‍යංශ ලේකම්වරයා වෙත අභියාචනයක් යොමු කිරීමෙන් පසු නැවත සම්මුඛ පරීක්‍ෂනයක් පවත්වා ඔහුට ග්‍රැෆික් ඩිසයිනර් තනතුර ලබා දී ඇත. එක තනතුරකට කොන්ත්‍රාත් පදනමින් හා අභ්‍යන්තර බඳවා ගැනීම් යටතේ සේවකයින් දෙදෙනෙකුට මේ දක්වා වැටුප් ගෙවීම බරපතල වරදකි. මෙම වැරදි සහගත බඳවා ගැනීමේදී හිටපු කළමණාකාර
අධ්‍යක්‍ෂවරයා  වගකීම් විරහිතව හා නීති විරෝධිව කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධව පරීක්‍ෂනයක් සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටීම.‍

13. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පෞද්ගලික ලේකම් තනතුර ලබා දීමේදී (2022/11/23) සුදුසුකම් සම්පූර්ණ නොකරන ලද අයදුම්කරුවන්ටද එම තනතුර ලබා දීමට හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත මහතා කටයුතු කර ඇත. හිටපු වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඥාති දියණියකට එම තනතුර ලබා දී ඇත්තේ වරාය සේවයට එක් වී පරිවාස කාලය සම්පූර්ණ වීමටත් ප්‍රථම වේ. එහිදී පෞද්ගලික ලේකම් තනතුරු 11 ක් ලබාදී  ඇතත් පොරොත්තු ‍ලේඛණයක් තබා නැත. නමුත් ඉන් පසුව වසරක් තුල ඇති වූ පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්‍ෂණයට ඉදිරිපත් නොවූ කීප දෙනෙකුට වැඩ බැලීමේ තනතුරු ප්‍රධානය කර ඇත. මෙම තනතුරු ලබා දීමට අදාලව නිසි සොයා බැලීමක් සිදු කර ඊට සම්බන්ධ හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත මහතා ඇතුලු සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටීම.

14. හිටපු වරාය උප සභාපති තුමාට හිමිකම් නොමැති වරාය ස්ථිර සේවකයින්ට පමණක්  ලබා දෙන දසමස් ණය මුදලට හිටපු උප සභාපතිවරයා වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස ඉදිරිපත් වෙමින් වරාය මුදලින් රුපියල් 2207500.00 ක මුදලක් අවභවිතා කිරීමට හිටපු උප සභාපතිවරයාට අනුබල දීම සම්බන්ධව පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටීම.

15. හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට එක්ව ඇත්තේ 2005 වසරේ වන අතර එතැන් සිට සේවය අවසන් කර ඇති කාලය දක්වා ගත වූ කාලය තුල ඔහු එක් රැස් කර ගෙන ඇති වත්කම් ප්‍රමාණය ඔහුගේ සාමාන්‍ය වැටුපෙන් උපයා ගත හැකි මට්ටමක නැත. එබැවින් ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන  ලෙස ඉල්ලා සිටීම.

ගරු කොමසාරිස්තුමනි,

ඉහත අංක 1 සිට 15 දක්වා වූ කරුණු පිළිබඳව ඔබ තුමාගේ කඩිනම් අවධානය යොමු කර රටේ පවතින පොදු නීතිරීතීන්, වරාය නීතිරීතින් උල්ලංඝනය කිරීම, මහජන  මුදල් අවභාවිතා කිරීම, අනිසි ලෙස මුදල් එක් රැස් කිරීම, හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ තනතුරට නොමැති බලයක් නීති විරෝධි ලෙස භාවිතා කිරීම, කළමණාකාර අධ්‍යක්‍ෂවරයෙකු වැනි වරාය අධිකාරියේ ප්‍රධාන වගකීමක් සහිත තනතුරකට නොගැලපෙන ලෙස කටයුතු කිරීම, වරාය කීර්ති නාමයට හානි වන අයුරුන් කටයුතු  කිරීම යන කරුණු පිළිබදව හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත මහතා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකර නීතිමය  පියවර ගන්නා ලෙස මා ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි,
මෙයට,

නිරෝෂන් ගොරකානගේ

Recent Post