යුද්ධයේ දී මියගිය සහ රණක්‍ෂිතයට පත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල අයගේ සුබසාධනය හා පවතින ගැටළු විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විශේෂ සාකච්ජාවක් පැවැත්වී තිබෙනවා. මින් පෙර පැවති සාකච්ඡා වලදී එළඹි තීරණ වලට අනුව, මේ දක්වා ලබා ගෙන ඇති ක්‍රියාමාර්ග වල ප්‍රගතිය මෙන්ම මියගිය සහ රණක්‍ෂිතයට පත් ත්‍රිවිධ හමුදා පවුල් වල සාමාජිකයන් මුහුණ දෙන අභියෝග කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානය යොමු වූ බවයි කියන්නේ. මෙම ගැටළු ඵලදායීව සහ කාර්යක්‍ෂමව විසඳීම සඳහා ක්‍රමානුකූල ප්‍රවේශයක අවශ්‍යතාවය කමිටුව විසින් අවධාරණය කර තිබෙනවා.
අදාළ පවුල්වල සුබසාධනයට ප්‍රමුඛත්වය ලබා දෙන ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කර තිබුණා. ඒ අනුව, ඵලදායී සහ තිරසාර විසඳුම් ලබා දීම සඳහා පත් කරනු ලැබූ කමිටුවෙහි කැපවීම මෙම සාකච්ඡාවේදී යළිත් තහවුරු කළ බවයි කියන්නේ.
සාකච්ඡාවෙන් අනතුරුව අදාළ කටයුතු වල ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මාධ්‍ය හමුවක් පවත්වන ලද අතර, එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ වත්මන් රජය මෙම ත්‍රිවිධ හමුදා පවුල්වල අවශ්‍යතා සපුරාලීමට සහ කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් තුළින් ඔවුන්ගේ ජිවන යහපැවැත්ම සහතික කිරීමට කැපවී සිටින බවයි.
මෙම සාකච්ජාවට මීට පෙර මේ පවුල් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් – ආරක්‍ෂක, මුදල් ආර්ථික ස්ථායිකරන හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, විෂයානුබද්ධව කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියා.