ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. සන්තෝෂ් ජා සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක එක්ව කිලිනොච්චිය, තිරුවල්ලුවාර්, කුඩිඉරුප්පු ආදර්ශ ගම්මානය පසුගිය දා විවෘත කළහ. එහිදී ප්‍රතිලාභී පවුල් 24ක් වෙත එම නව නිවාස පවරාදුන් බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් ද එක්ව තිබේ.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ ලේකම්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම උතුරු පළාත් සභාවේ සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන්ද එක්ව තිබෙනවා.
ඉන්දීය රජයේ ආධාර අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය හා එක්ව දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළම ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වාර්තා කරයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් මේ වනවිටත් අත්සන් කළ බව ඔවුන් පවසයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් 600 ක් සඳහා නිවාස පහසුකම් ඇතුළත් වන අතර, එක් දිස්ත්‍රික්කයකට නිවාස 24 බැගින් වූ ආදර්ශ ගම්මානයක් ද ඇතුළත් වේ. දිස්ත්‍රික් නිවාස කමිටු මගින් තෝරාගත් පවුල් සඳහා මෙම නිවාස පවරනු ලබනවා.
ව්‍යාපෘතිය යටතේ මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුර, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල යන දිස්ත්‍රික්ක 12 ක ආදර්ශ ගම්මාන මීට පෙර විවෘත කර නිවාස ලාභීන් වෙත භාර දී ඇත. ව්‍යාපෘති ප්‍රගතිය 96% ඉක්මවන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද කඩිනමින් විවෘත කර ප්‍රතිලාභීන් වෙත කඩිනමින් ලබාදීමට අපේක්ෂා කෙරෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.