(නිදහස් කොංගෝවේ ප්‍රථම අග්‍රාමාත්‍ය පැට්රිස් හෙමරි ලුමුම්බා ඝාතනය කර ඊයේ (17) දිනට වසර 64කි. මේ සටහන ඒ වෙනුවෙන් ඊයේ දින දිනමිණ පුවත් පතෙහි පළවූ සටහනකි මෙම ලිපිය)
1970 මැයි 12දා හම්බන්තොට ළඳු කැලෑ හේනක් තුළ දී රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට පත් වූ පුවත “දිනමිණ” පත්‍රයේ මුල් පිට පුරා පළ වූ මොහොතේ සිට එක් විදේශීය විශ්වවිද්‍යාලයක් විටින්විට අපේ පුවත්පත් විශේෂාංගවල විමර්ශන ග්‍රන්ථ පිටු අතර හුවා දක්වන ලදි. ජාතික ජන බලවේගයේ 2024 ජයග්‍රහණය නිසා පිරිසුදු ශ්‍රී ලංකාවක් ගොඩ නගෙන යනවා නම් ඒ විදේශ විශ්වවිද්‍යාලය ලංකාවට අදාළව දිගටම සඳහනට ලක්වීම කිසි කලෙක නතර නොවනවා ඇත. ඒ නම් රෝහණ විජේවීර සහෝදරයා රුසියාවේදී අධ්‍යාපනය ලත් මොස්කව් නුවර පැට්රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයයි.
නිදහස දිනාගන්නා අලුත් රටවල සිසුන් උදෙසා 1960දී සෝවියට් කොමියුනිස්ට් පක්ෂය විසින් ගොඩනගන ලද මිත්‍රත්ව සරසවිය පසුව ලුමුම්බා නාමයට පුද කරන ලද්දේ නිදහස් කොංගෝවේ ප්‍රථම අග්‍රාමාත්‍ය පැට්රිස් හෙමරි ලුමුම්බා අප්‍රිකාවට පමණක් නොව ලෝ පුරා විමුක්තිකාමීන්ගේ පූජ්‍යත්වයට පත් වූ නිසාය. 1961 ජනවාරි 17දා අනේක දුක් වේදනා දී ඔහු මරා දමන ලද පසුත් කිසිදා නොනැසෙන නාමයක් ඔහු විසින් ඉතිරි කරන ලදි.

වටිනා ඛනිජවලින් උතුරා ගිය අප්‍රිකානු රටක් වන කොංගෝව වර්ග සැතැප්ම 132,047 විශාල වුවද කුඩා යුරෝපීය අධිරාජ්‍ය රටක් වූ වර්ග හැතැප්ම 6526ක බෙල්ජියම් පාලනය විසින් එවක ගිලගෙන තිබිණි. මේ සඳහා බෙල්ජියන් පාලකයන් කොංගෝව තුළ මුදාහරින ලද පීඩනය සහ මර්දනයත් භීෂණයත් අසීමාන්තික වූයේය. තම නිජ බිම මතට එල්ල වෙමින් තිබූ ඒ කෲර බෙල්ජියම් පාලනයට එරෙහිව කොංගෝවේ දුප්පත් ගොවියකුගේ පුතකු වූ පැට්රිස් ලුමුම්බා සටන් කළේය. එනිසාම ඔහු එරට විමුක්තිදායකයා වූයේ ය.
1925 ජූලි දෙවෙනිදා ලුමුම්බා උපත ලැබුවේ බෙල්ජියම් කොංගෝවේ කසායි පළාතේ ඔනලුවා ගම්මානයේ ය . ඔහු කුඩා බටෙටෙලා ජනවාර්ගික කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර එය ඔහුගේ පසුකාලීන දේශපාලන ජීවිතයේ වැදගත් හැඩගැසීම් තීරණය වීමට බලපෑ බවයි වාර්තා වන්නේ. කතෝලික මිෂනාරි පාසලකින් බිහිව තැපැල් සේවා පුහුණුවට යොමු වූ ලුමුම්බා ප්‍රසිද්ධ වූයේ පූජකයන් හා ගුරුවරුන් ගෙන් අනවරතව ප්‍රශ්න නගන කැරළිකාර තරුණයකු වශයෙනි. පසුව ඔහුගේ බලකේන්ද්‍රය වූ කොංගෝවේ ස්ටැන්ලිවිල් නගරයේ දිගුකලක් තැපැල් සේවා වෘත්තිය කළ ලුමුම්බා බෙල්ජියම් ලිබරල් පක්ෂයේ සාමාජික වී එහි දේශපාලන ලිපි ලේඛන භාරව ක්‍රියා කළේය. තැපැල් සේවාවෙන් ඩොලර් 2500 සොරා ගත් බවට ඔහු නඩුවකට පැටලු බෙල්ජියන්වරු දොළොස් මසක හිර දඬුවමකට ඔහු යටත් කළහ. 1958 ඔක්තෝම්බර් මාසයේදී ලුමුම්බා අනෙකුත් කොංගෝ නායකයන් සමඟ එක්ව කොංගෝ ජාතික ව්‍යාපාරය (Mouvement National Congolais; MNC)1958 දී ගොඩ නැගීමට දැක්වූ ප්‍රමුඛතාව නිසාම කෙටි කලකින් එහි නායකයා වූයේය. දක්ෂ කථිකයකු හා ලේඛකයකු වු ඔහු කෙටි කලකින් කොංගෝ ජනතාව තුළ බලාපොරොත්තු ඉහල නැංවූ සුවිශාල ජනප්‍රිය නායකයකු විය.
1959දී යටත්විජිත විරෝධී මත ප්‍රචාරය නිසා යළිත් හිරභාරයට ගන්නා ලද ලුමුම්බා, සිරබත් කමින් සිටිය දී මැතිවරණය මෙහෙයවා 1959 දෙසැම්බර් මස ජයග්‍රහණය කළේය. 1960 ජූනි මස ජාතික ඒකාබද්ධතා පාලනයක නායකයා වී 1960 ජූනි 23 අගමැති වූයේය.
බෙල්ජියමේ රජු ඉදිරියේ 1960 ජූනි 30දා පැවැති නිදහස් උත්සවයේ දී රජු පැවැත් වූ උද්ධච්ඡ කතාවට එරෙහිව පිළිතුරු කතාවක් කිරීමට ලුමුම්බා නැගී සිටියේ රජු හා යටත්විජිත ගැත්තන් බලාපොරොත්තු නොවූ මොහොතකය. කොන්ගෝ ජනතාවගේ ශක්තියත් හැලූ ලේ ගංගාත් වැගුරූ කඳුලුත් මතක් කරමින් තම ජාතිය යටත්ව තිබූ වහල්භාවය ලුමුම්බා හෙළා දැක්කේ රජු හා බටහිර රටවල නියෝජිතයන් වික්ෂිප්ත කරමිනි.
නිදහස් දින උත්සවයේදී රජු හා බෙල්ජියන් පාලකයින් හෙළා දුටු ලුමුම්බා මර්දනය කරන්නට එතැන් සිට ප්‍රතිගාමී යටත් විජිතවාදීහූ එළිපිටම පියවර ගත්තෝය. නිදහසෙන් දින පහක් ගත වනවිට බෙල්ජියන් අධිරාජ්‍ය විසින් පාලන තන්ත්‍රය තුළ කුමන්ත්‍රණකාරී මෙහෙයවීමක් මතු කළේය. ඒ හේතුවෙන් කොංගෝ හමුදාව තුළ කැරැල්ලක් ඇතිවිය. ලුමුම්බාගෙන්ම උසස්වීම ලත් ජෝසප් මොබුටු නම් හමුදා නිලධාරියා කැරැල්ලට ආධාර කළේය. වඩාත්ම ඛනිජ ද්‍රව්‍යවලින් පොහොසත් කොංගෝ රටේ ප්‍රාන්තය වන කටන්ගාව බෙල්ජියන් ආධාර සහිතව වෙනම රාජ්‍යයක් බවට එහි නායක මොයිස් ත්ෂොම්බේ (Moise Tshombe) විසින් ප්‍රකාශයට පත්කරන ලදි.
කොංගෝව තුළ ස්ථාවර පාලනයක් ඇතිකිරීමට හා කටන්ගාව කැඩී වෙන්වීම වළකාලන්නට ලුමුම්බා උත්සාහ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිහිට පැතීමෙනි. ඔහු ඒ සඳහා අමෙරිකන් එක්සත් ජනපදයට ද තවත් යුරෝපීය හා අප්‍රිකානු රටවල් ගණනාවකටම ගියේය.
අගමැති ලුමුම්බා කොංගෝව රැකගැනීමට විදේශයන් හා එක්සත් ජාතීන්ගේ සහයෝගය පතන විට, එවකට කොංගෝවේ ජනාධිපතිවරයාව සිටි ජෝසප් කසා-වුබු (Joseph Kasa-Vubu) අධිරාජ්‍යවාදී බෙල්ජියම හා කැඩී වෙන්වන කටන්ගාවට වාසි වන සේ ලුමුම්බා අගමැති පදවියෙන් පහ කරන බව ප්‍රකාශ කළේය. ඒ 1960 සැප්තැම්බර් 5 වෙනිදා යි. ඒ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා සාම සාධක හමුදා කොංගෝවට ගොඩබැස තිබුණ ද ඔවුන් ආධාර කළේ තමන් එහි ගෙන්වා ගත් අගමැති ලුමුම්බාට නොව බෙදුම්වාදී කටන්ගාවට, හමුදා නායක මොබුටුගෙන් යුක්ත අධිරාජ්‍ය ගැති කවුරටය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවක මහලේකම්ව සිටි ඩැග් හැමර්ෂර්ඩ් අගමැති ලුමුම්බාට සහයවීම ප්‍රතික්ෂේප කළේය.
තම දේශය රැකගැනීමට කිසිදු සහායක් නොලැබෙන තත්ත්වය යටතේ සෝවියට් රුසියාවේ ආධාර පතන්නට ලුමුම්බා ක්‍රියා කළේය. 1960 සැප්තැම්බර් 14 වෙනිදා වනවිට රටේ බලය හමුදා බලයෙන් අල්ලා ගෙන සිටි මොබුටු විසින් ඔක්තෝම්බර් මාසයේදී, ලුමුම්බාව ලියෝපෝල්ඩ්විල් හි නිවාස අඩස්සියේ තබනු ලැබීය. ඒ මොබුටුගේ හමුදාවන් විසින් පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැකවල් මධ්‍යයේ යි. 1960 දෙසැම්බර් දෙවැනිදා නිවාස අඩස්සියෙන් පලායාමට උත්සහ කළ බව කියමින් මොබුටුගේ පාලනය අග්‍රාමාත්‍ය ලුමුම්බාව හිරභාරයට ගත්තේය.
සෝවියට් සංගමය සාම සාකච්ඡා කරමින් විවිධ පියවර ගත්ත ද, අමෙරිකන් එක්සත් ජනපදයේ CIA සංවිධානයත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, බෙල්ජියමත් එකතුව ක්‍රියා කළේ හමුදා නායක මොබුටු හා ජනාධිපති කසවුබුට වාසි වන ආකාරයටය. ලුමුම්බා මුලින් තයිස්විල් (දැන් Mbanza-Ngungu) හි හමුදා කඳවුරක රඳවා තබාගත්තේය. එහි සිටි සොල්දාදුවන් ඔහුට මිත්‍රශීලීව සැලකිලිමත් වීම හේතුවෙන් බෙල්ජියම්, කොංගෝ සහ කටන්ගා බලධාරීන්ගේ නොසතුටට හේතු විය. ඒ නිසාම ඔහු වෙනත් තැනකට ගෙනගොස් තිබිණි.
1961 ජනවාරි 17 වන දින, ලුමුම්බා සහ ජෝසෆ් ඔකිටෝ සහ මොරිස් ම්පෝලෝ, එලිසබෙත්විල් (දැන් ලුබුම්බාෂි) වෙත ගුවනින් ගෙන ගිය බව කියයි. එහිදී මේ තිදෙනාම කටන්ගාහි බෙදුම්වාදී පාලනයට සහ එහි බෙල්ජියම් උපදේශකයින්ට භාර දෙන ලදී. එහි ගිය ගුවන් යානයේදී, ඔවුන් පිරිවරා ගිය සොල්දාදුවන් විසින් ඔවුන්ට පහර දී ඇති අතර, ඔවුන් කටන්ගා වෙත ගෙන ආ පසු යලි යලිත් පහර දෙන ලදී. එදිනම පසුව, බෙල්ජියම් අණ යටතේ ලුමුම්බා සහ ජෝසෆ් ඔකිටෝ සහ මොරිස් ම්පෝලෝ වෙඩි තබා ඝාතනය කළහ. ඒ එදින රාත්‍රී 9.40 හා 9.43 අතර කාලයේ දී බවයි වාර්තා වන්නේ. මරා දමන විට මේ අසහාය විරුවාගේ වයස අවුරුදු 35ක් විය.

ඝාතක වෙඩික්කරුවන් විසින් ඝාතනය කළ පසු කොංගෝවේ අසහාය වීරයා වූ නිදහස් කොංගෝවේ පළමු අගමැති පැට්රිස් හෙමරි ලුමුම්බා සහ ජෝසෆ් ඔකිටෝ මෙන්ම මොරිස් ම්පෝලෝ සිරුරු මුලින් නොගැඹුරු සොහොන්වලට විසි කළ බවයි සඳහන් වන්නේ. පසුව ඒවා බෙල්ජියම් නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ හාරා ගොඩට ගෙන, කැබලිවලට කපා, ඇසිඩ්වල දියකර දැමූ බව සඳහන් වෙයි.
පැට්රිස් හෙමරි ලුමුම්බා ඝාතනය සැලවීමත් සමඟ ඊට එරෙහිව ලොව පුරා ශිෂ්‍ය හා කම්කරු විරෝධතා පෙළපාළි හා උද්ඝෝෂණ පැතිර ගියෝය. කොළඹ පැවැති මහා ශිෂ්‍ය පෙළපාළිය ආනන්ද විද්‍යාලය ඉදිරියෙන් පටන් ගන්නා ලදි. පැට්රිස් හෙමරි ලුමුම්බා පිළිබඳව මෙම සටහන ලියන මා සහභාගි වූ ප්‍රථම පෙළපාළිය හා උද්ඝෝෂණයත් එය විය. බෙල්ජියන් තානාපති කාර්යාලය සොයමින් ඇදී ගිය කොළඹ ශිෂ්‍ය පෙළපාළිය සුදු අධිරාජ්‍ය කඳවුරේ එක් රටක තානාපති කාර්යාලයක් ඉදිරියේ පොදබැඳී සිටියදී මම ද එහි තාප්පයෙන් පැන, තානාපති කාර්යාලයේ කොඩි ගස කරා දිවුවෙමි. ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක යටගම අමරදාස සහ පසු කලක කාර්මික විද්‍යාලයේ නීති කථිකාචාර්යවරයා වූ පියසිරි සමරසූරිය ද තවත් තරුණයන් ගණනාවක් ද සමඟ එකතු වූ මම ඒ තානාපති කාර්යාලයේ කොඩිය කඩා බිම දැමීමට දෝතින් ම මුළු වැර යොදා කඹය ඇද්දෙමි.

ලුමුම්බා ඝාතනයෙන් වසර 22කට පසුව ලුමුම්බාගේ එක් දතක් රැගත් අවමංගල්‍ය රථයක් කොංගෝවේ අනුස්මරණාගාරයක තැන්පත් කරන ලද්දේ 2022 ජූනි 30දාය. එහෙත් ඉන් මාස හතරහමාරකට පසු මෙම අනුස්මරණාගාරය ද සතුරු බලවේග විසින් කඩා බිඳ දමා, ඔහුගේ මිනී පෙට්ටිය පවා කඩාදමන ලද්දේ මරාදමා විසිදෙවසරකට පසුවත් අධිරාජ්‍ය ගැත්තන් ලුමුම්බාට ඇති බිය හෙළිකරමිනි.

අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයත්, අමෙරිකන් ජනාධිපති අයිසෙන් හවර් හා බෙල්ජියම් අධිරාජ්‍යවාදී පතල් හිමි කල්ලියත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අඩු වැඩි සම්මාදමක් සහිතව මරා දමන ලද මේ වීරෝදාර අප්‍රිකානු නායකයාගේ සොහොන් ගැබට පවා කරන ලද ප්‍රහාර මානව වර්ගයා වෙත යලි යලිත් ඔප්පු කරනුයේ අධිරාජ්‍යවාදය හා ධනවාදය මැඬලිය යුත්තේ කොන්දේසි විරහිතව ඒවා සපුරා විනාශ කිරීමෙන් පමණක් බවය.
නීතිඥ ආනන්ද ගුණතිලක