වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන පළමු අයවැය යෝජනා අද (17) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා මෙනම් ජනාධිපතිවරයාද වන අනුර කුමාර දිසානායක විසින්.
අද පෙ.ව. 10.30ට ජනාධිපතිවරයා විසින් අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.
2025 වසර සඳහා වන අය – වැය යෝජනාවන්ට අදාළ විවාදය හෙට (18) සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. 2025 ජනවාරි 09 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතයි.
ඉන්පසුව පෙබරවාරි 25 වැනිදා පස්වරු 6.00ට අය – වැය යෝජනා දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතයි. විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පවත්වන්නේ මාර්තු 21 වැනිදා පස්වරු 6.00ට යි.
අය – වැය සම්බන්ධ කාලසීමාව තුළ සෑම දිනයකම පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5ක් සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා කාල සීමාව තුළ අය – වැය යෝජනා පිළිබඳව විවාදය පැවැත්වේ.
ඡන්ද විමසීම් පැවැත්වෙන පෙබරවාරි 25 සහ මාර්තු 21 දෙදින හැර අනෙකුත් සෑම දිනකම පස්වරු 6.00 සිට පස්වරු 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා සඳහා වෙන් කර ඇත. 2025 වසර සඳහා වන අය – වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද (17) දිනයේ දී දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසකට ආරාධනා කර ඇති අතර අය – වැය ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ. අය – වැය යෝජනා ඉදිරිපත් කරන අද දිනයේදී විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කරන බව වාර්තා වෙනවා.