ඉන්දියානු පදනම (India Foundation) විසින් සංවිධානය කළ 8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව ඊයේ (16) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී දෙරට අතර ඵලදායී අන්තර්ක්‍රියාවන් මෙන්ම පුළුල් සහයෝගීතාව සමාලෝචනය කළ බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රගතිය සඳහා කැපවී කටයුතු කරන බව එම හමුවේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සඳහන් කර ඇති බවයි කියන්නේ.
ඉන්දියානු සාගර සමුළුව 2016 දී සිංගප්පූරුවේදී ඉන්දියා පදනම විසින් ආරම්භ කරන ලද අතර එයට රටවල් 30 ක සහභාගීත්වයක් ලැබුණි. පසුගිය වසර 8 තුළ කලාපීය කටයුතු සම්බන්ධයෙන් කලාපයේ රටවල් සඳහා ප්‍රමුඛතම උපදේශන සංසදය ලෙස මෙම සමුළුව හඳුන්වනු ලබනවා. ඉන්දීය කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) සඳහා කලාපීය සහයෝගීතාවයේ අපේක්ෂාවන් සාකච්ඡා කිරීමට කලාපයේ තීරණාත්මක රාජ්‍යයන් සහ ප්‍රධාන සමුද්‍රීය හවුල්කරුවන් පොදු වේදිකාවක් මතට ගෙන ඒමට මෙම සමුළුව කටයුතු කරනවා.
මෙවර පැවැත්වෙන 8 වන ඉන්දියානු සාගර සමුළුව ඉන්දියානු පදනම විසින් ඕමානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව 2025 පෙබරවාරි 16 -17 දෙදින ඕමානයේ මස්කට් හිදී සංවිධානය කරනු ලැබුවා. මෙම සමුළුවේ මෙවර තේමාව වූයේ “සමුද්‍රීය හවුල්කාරිත්වයේ නව ක්ෂිතිජයන් කරා ගමන් කිරීම” යන්නයි.