මුල්ම සතියේ කොටස් වෙළෙඳපොළ 7%කින් ඉහළට

ඊයේ (27) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබුණු අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 102.01 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 25.61 කින් ඉහළ යන ලදී.

ඒ අනුව ඊයේ දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,773.88 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 3,409.90 ක් ලෙසත් සටහන්ව තිබුණි. රු. බිලියන 2.94 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

2024 ජනාධිපතිවරණයෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වූ පළමු සතිය මෙය වන අතර එහිදී සියලු කොටස් මිල දර්ශකයට අනුව මෙම සතිය තුළ 7.36% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

ජනාධිපතිවරණයට පෙර අවසාන ගනුදෙනු දිනය වූ පසුගිය සැප්තැම්බර් 20 සිකුරාදා දින නිමාවේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,966.51 ක් ලෙසින් වාර්තා වූ අතර එය ජනාධිපතිවරණයෙන් පසු පළමු ගනුදෙනු සතිය වූ මෙම සතියේ දින 5 තුළ ඒකක 807.37 කින් ඉහළ ගොස් ඇත.

Recent Post